අතුරුදහන් වූවන්ට විසඳුම් ඉල්ලූ කිලිනොච්චියේ සත්‍යග්‍රහයට අවුරුද්දයි..

February 22, 2018 at 2:10 am | lanka C news
අතුරුදහන් වූවන්ට විසඳුම් ඉල්ලූ කිලිනොච්චියේ සත්‍යග්‍රහයට අවුරුද්දයි..

යුද්දය හේතුවෙන් උතුරේ අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා ආරම්භ කරන ලද කිලිනොච්චියේ සත්‍යග්‍රහයට මේ වන විට දින 366 ක් පසු වී ඇතත් තමන්ට මෙතෙක් විසඳුමක් නොලැබුනු බවට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කියා සිටිති.

කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටි කන්දසාමි කෝවිල ඉදිරිපිට මීට වසරකට පෙර යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් සත්‍යග්‍රහයන් ආරම්භ කර සිටියේ අතුරුදහන් වූ සිය දරු මුණුබුරන් සොයා දෙන ලෙසටත් ඔවුන් වෙනුවෙන් විශ්වාශවන්ත පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසටත් ඉල්ලමිනි.

අදාල සත්‍යග්‍රහය අතරතුර රටේ නායකයාගේ සිට සියලුම බලධාරීන් හමු වී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විවධ මට්ටමේ සාකච්ඡා පැවත්වුවද මෙතෙක් තමන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබුනු බවට සත්‍යග්‍රහයේ නිරතවූවන් කියා සිටියහ.

කිලිනොච්චියේ ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට වසරක් ගෙවීම නිමිත්තෙන් එයට සහය ලබා දීමක් වශයෙන් කිලිනොච්චියේ විවිධ වූ ස්වේච්ඡා සංවිධාන හා පුරවැසි කමිටු සාමාජිකයින්ද මේ දිනවල සත්‍යග්‍රහය ඉදිරිපිට හිඳමින් වත්මන් රජයට විරෝධය පලකරමින් කියා සිටින්නේ වසරක් ගෙවුනු සත්‍යග්‍රහයකට විසඳුමක් ලබා දිය නොහැකි රජයක් පිළිබඳව කෙසෙත් විශ්වාශයක් තැබිය නොහැකි බැවින් මෙම ගැටලුවට ජාත්‍යන්තරය හෝ මැදිහත් වී රජයට බලපෑමක් කොට පිළිගත හැකි විසඳුමක් ලබා දිය යුතු බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8 views