අද බඩු මිල වැඩිවෙන්නේ ගිය ආණ්ඩුවේ වරදින්..

March 8, 2020 at 1:20 pm | lanka C news
අද බඩු මිල වැඩිවෙන්නේ ගිය ආණ්ඩුවේ වරදින්..

වසර 05ක් තිස්සේ අපායක් බවට පත් කළ රටක් මාස 03 කින් දිව්‍ය ලෝකයක් කල නොහැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වැටී  තිබෙන රට ගොඩ නැගීම සදහා මෙරට කාන්තාවන්ගේ දායකත්වය අත්‍යවශ්‍යය බවයි. ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටු ආණ්ඩුවක් බිහි කර ගෙන රට ආරක්ෂා කර ගැනීමට එක්වන්නැ‘යි තමන් මෙරට කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමි ව මිනුවන්ගොඩ උඩුගම්පළ දී පැවති කාන්තා දින සැමරුමේ දී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේය. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගිත්වයෙන් රැස්වීම පැවැත්විණ.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“කිසියම් සිද්ධියක් රටේ වෙනකොට ඒ පිළිබද රටේ මුලින් ම සංවේදී වෙන්නේ කාන්තාවන්. 88,89 භිෂණ කාලේ රටේ හැමතැනම ටයර් සැයවල් ඉදි වෙනකොට ඒකට මුලින් ම බය වුණේ ගම්වල අම්මලා. UNP ආණ්ඩුව තරුණයන් ව අමානුෂික ලෙස ඝාතනය කරලා ටයර් සෑයවල් වල දවන අමානුෂික කාලයක් තිබුණා. ඒ කාලයේ මමයි තාත්තායි තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ අතුරුදහන් වෙච්ච අයව හොයන්න ගියේ. තමන්ගේ දරුවෝ. ස්වාමිපුරුෂයෝ අතුරුදහන් වෙච්ච කාන්තාවෝ ආණ්ඩුවට ශාප කරපු හැටි අපි දැක්කා. 88,89 කාලයේ ඝාතනයට ලක් වෙච්ච තරුණ තරුණියන්ගේ ශාපය තමයි අද එක්සත් ජාතික පක්ෂය දියවෙලා යන්න හේතුව. කොටි යුද්ධය වෙලාවෙත් මේ රටේ කාන්තාවෝ ජීවත් වුණේ බයෙන්. යුද්ධය අවසන් කරපු නිසා තමයි මේ රටේ කාන්තාවන් අද බයක් සැකක් නැතුව ජීවත් වෙන්නේ.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය විශේෂ තැනක් කාන්තාව වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් ම කාන්තා හිංසනය ළමා අපචාර නැති කරන්න විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා. ග්‍රාමිය කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලකුත් යෝජනා කර කිබුණා. පහුගිය මාස තුනේ විපක්ෂය කළේ අපේ කකුලෙන් අදින එක. නිසා අපි ඉදිරියේ දී පිහිටුවන ආණ්ඩුවක දී කාන්තාවක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වැඩ පිළිවෙල ක්‍රියාවට නංවනවා. පහුගිය ආණ්ඩුව වසර 05 ක් තිස්සේ මේ රට අපායක් බවට පත් කළා. අවුරුදු 05ක් අපායක් බවට පත් කළ රටක් මාස තුනෙන් ගොඩ ගන්න බෑ.

මහා බැංකු හොරකම තමයි පහුගිය කාලේ සිද්ධ වුණ ලොකුම හොරකම. මහ බැංකු හොරකමේ පොඩි පොඩි හොරු විතරයි අහු වෙලා ඉන්නේ. ලොකු හොරු ටික මග ඇරලා ඉන්නවා. අපි මේ හොරුන්ට මග ඇරලා ඉන්න ඉඩ තියන්නේ නෑ. පහුගිය ආණ්ඩුව සුදුපිරුවට පොරෝගෙන ආවට තනිකරම දූෂිත ආණ්ඩුවක්. බැදුම්කර හොරකම මේ රටේ ආර්ථිකයට බලපෑවා. අද රටේ ජනතාව මුහුණ දෙන බඩු මිල ඉහළ යාම වගේ දේවල් වලට වග කියන්න ඕනේ යහපාලන ආණ්ඩුව. ඔවුන්ගේ අදූරදර්ෂි ආර්ථික වැඩ පිළිවෙල නිසයි රට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ.

මහින්ද මහත්තයා පැරදුණාම ලග හිටපු අය මහින්ද මහත්තයව දාලා ගියා. එතුමාව පාවා දුන්නාත ඒත් කළගුණ දන්න මහින්ද මහත්තය එක්ක කතාවත් කරලා නැති මිනිස්සු එතුමාව නැවත රටේ බලයට ගේන්න කථා කළේ, වැඩ කළේ. 2015 ජනවාරි 08 වන දා පැරදුණාට පස්සේ අපි නොයෙකුත් අභියෝග වලට මුහුණ දුන්නා. ඒත් අද අපි ඒ සටන ජයග්‍රහණයේ අභිමුවට ගෙනවිත් තියෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ මහින්ද මහත්තයා අගමැති වුණා. එකක් දින 56 කට අනික දැන්. හැබැයි මේ දෙකම පත් වෙලා තියෙන්නේ ජනාධිපතිවරයා එතුමාව අගමැති ලෙස නම් කරපු නිසා. මහින්ද මහත්තයා කියන්නේ රටට අභය දානය දුන් නායකයෙක්. රටේ ජනතාවට ජීවත් වෙන්න පරිසරය හැදු නායකයෙක්. එතුමාට තුනෙන් දෙකක බහුතර බලයක් සහික ආණ්ඩුවක් පිහිටුවන්න අපි කටයුතු කරන්න ඕනේ. මේක තමයි ජනතා ඡන්දයෙන් මහින්ද මහත්තයව බලයට ගේන්න පුළුවන් අවස්ථාව. බඩ ගැන හිතන මිනිස්සුන්ට වඩා රට ගැන හිතන මිනිස්සුන්ට නැවත අවස්ථාවක් ලැබිලා තියෙනවා.

මම මහඇමති වෙච්ච කාලෙත් කියපු දෙයක් තමයි බස්නාහිරට මහඇමති මම වුණාට ගෙදරට මහඇමති මගේ නෝනා කියලා. දැන් මං කැබිනට් ඇමති වුණත් ගෙදර කැබිනට් ඇමති මගේ නෝනා. ඕක මට විතරක් නෙමෙයි මහින්ද මහත්තයටත් එකයි, චමල් මහත්තයටත් එකයි. ඒ නිසා මේ රටේ කාන්තාවන්ට තිබෙන අයිතිය පාවිච්චි කරලා එළඹෙන මහා මැතිවරණයේ දී රට ජයග්‍රහණය කරන්න කැප වෙන්නැ‘යි ඉල්ලා සිටිනවා.

හිටපු පළාත් සභා මන්ත්‍රී කෝකිලා හර්ෂණි ගුණවර්ධන, අශෝකා ලංකාතිලක යන මහත්මීන් ද මෙහි දී කථා කලහ.

– ප්‍රදීප් අනුර කුමාර

237 views
Main News