‘අද හිටියානම් අගමැති ප‍්‍රභාකරන්ද..’ – අගමැති රනිල් පැහැදිලි කල යුතුයි..

December 29, 2016 at 4:40 pm | lanka C news
‘අද හිටියානම් අගමැති ප‍්‍රභාකරන්ද..’ – අගමැති රනිල් පැහැදිලි කල යුතුයි..

‘ප‍්‍රභාකරන් ජීවතුන් අතර සිටියා නම් අද අගමැති වෙන්නත් තිබුණා‘ යනාදී වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ජාතිවාදී ප‍්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිගන්නවාදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ප‍්‍රශ්නකර සිටී.

අද(29) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරියේ පෙනී සිටිමෙන් අනතුරුව මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ඒ මහතා මෙසේ ප‍්‍රශ්නකර සිටියේය.

එහිදී අදහස් දැක්වු විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන්කර සිටියේය.‘‘මගෙන් ඇසීමට තිබූ ප‍්‍රශ්න මාලාව අද(29) දහවල් වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අහලා ඉවරයි, කියලයි මම හිතන්නේ. නැවත පැමිණීම සඳහා දැනුම් දුන්නේ නැහැ. අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ රාවයක් තිබුණා. ඒ සියල්ලටම මුහුණ දීමට බලාගෙන තමයි අද ආවේ.

මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා,

ප‍්‍රශ්නය :- වෙනත් පිරිස්වලට මෙවැනි චෝදනා එල්ල වෙලා තිබියදී ඇයි ඔබතුමාවම මේ ආකාරයට FCIDයට කැඳවන්නේ ?

පිළිතුර :- වාහන පාවිච්චි කිරීම, රජයෙන් ලැබුණු ඉන්ධන ප‍්‍රමාණයට වඩා වැඩියෙන් අතින් වියදම්කරගෙන ඉන්ධන පාවිච්චි කිරීම හා ඇතැම් පුද්ගලයන් සඳහා ලබා දී තිබූ වාහන ආදීය ගැන තමයි ප‍්‍රශ්න කරන්නේ. මෙවැනි දේ ගැන ප‍්‍රශ්න කරනවා නම් වත්මන් කැබිනට් ඇමතිවරුන් සියලූදෙනාත් මේ විදිහට FCIDයට ගෙන්වා ගෙන උදේ ඉඳන් සවස් වෙනකම් ප‍්‍රශ්න කරන්න පුළුවන්. අද ආණ්ඩුවට සම්බන්ධ කිසිවකුත් ප‍්‍රශ්න කරන්නෙ නැහැ. ආණ්ඩුවට විරුද්ධ අයකු අතින් අල්පෙනෙත්තක් බිම වැටිලා තිබුණත් ඒක මහා ලොකුවට ප‍්‍රශ්න කරනවා.

ප‍්‍රශ්නය :- විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය ප‍්‍රභාකරන් ගැන කළ ප‍්‍රකාශය ගැන ඔබතුමාගේ මතය කුමක්ද ?

පිළිතුර :- විජයකලා මහේෂ්වරන් කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් . එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් කියනවා නම්, ‘මම කොටි නායක වේළුපිල්ලේ පිරබාහරන් මියගිහිල්ලා කියලා පිළිගන්නේ නැහැ. එයා ජීවතුන් අතර සිටියා නම් මේ ආණ්ඩුවේ අගමැතිවරයා වෙනවා’ කියලා ඒක අපි භාරගත යුත්තේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරයකු කරන ප‍්‍රකාශයක් ලෙස නොවෙයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයා තමන්ගේ මේ මන්ත‍්‍රීවරිය කරන ප‍්‍රකාශය පිළිගන්නවාද? ඇය මේ ප‍්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නිල මතයද? නැත්තම් උතුරට එක් මතයකුත් දකුණට තවත් මතයක් ප‍්‍රකාශ කරන එකද එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තිය? කියන ප‍්‍රශ්න ගණනාවක් අප හමුවේ මතු වෙනවා.

දෙමළ ජාතික සන්ධානයටත් එහා ගිහිල්ලා දෙමළ ජාතිවාදී න්‍යාය පත‍්‍රයක් පණගන්වන එක තමයි මේ විජයකලා මහේෂ්වරන් මන්තී‍්‍රවරිය කරන්නේ. ඒකෙන් ඇති වෙන්නේ සහජීවනය නොවෙයි, තිබෙන සහජීවනයට සහ සමගියට ඒකෙන් විශාල තර්ජනයක් එල්ල වෙනවා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

42 views