අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලධාරීන් පාරට දමා මන්ත්‍රී විවේකාගාරයක් හදන්න යයි…

November 22, 2016 at 8:02 am | lanka C news
අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලධාරීන් පාරට දමා මන්ත්‍රී විවේකාගාරයක් හදන්න යයි…

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දකුණු පළාතේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 50 කට අයත් පාසල් 1116 ක සිසු දරුවන් ලක්‍ෂ 5 කට අධික ප්‍රමාණයකට සහ ගුරුභවතුන් 30,000 කට ආසන්න සංඛ්‍යාවකට සේවය කරනු ලබන ආයතනයකි. මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරන සමස්ථ ලබන කාර්ය මණ්ඩලය 176 ක් පමණ වන අතර මාණ්ඩලික නිලධාරීන් සංඛ්‍යාව 30 ක් පමණ වේ. මහල් 4 කින් සමන්විත අධ්‍යාපන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ එක් නිලධාරියෙකුට සේවය කිරීම සඳහා අවශ්‍ය අවම ඉඩ ප්‍රමාණය වත් සපයා ගත නොහැකි තත්වයක් පවතී. මාණ්ඩලික නිලධාරියෙකුට තම රාජකාරී කටයුතු කිරීම සඳහා අවම වශයෙන් වර්ග අඩි 100 ක ඉඩ ප්‍රමාණයක් නිර්දේශිත වුවත් මෙම දෙපාර්තමේන්තුවේ එක් මාණ්ඩලික නිලධාරියෙකු සඳහා වෙන් කර ඇත්තේ වර්ග අඩි 50 කටත් අඩු ඉඩ ප්‍රමාණයකි.

එවන් පසුබිමක් පැවතියත් මීට වසර දෙකකට ඉහත දී පළාත් සභාවේ කළ ප්‍රකාශයක් මත දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ පෞද්ගලික අවශ්‍යතාවය හා මැදිහත්වීම මත මෙම දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ තෙවන මහළ දකුණු පළාත් සභාවේ අධීක්‍ෂණ මන්ත්‍රීන් හට විවේකී මධ්‍යස්ථානයක් වශයෙන් ලබාදෙන ලෙසත් 2016.11.21 දින වන විට තෙවන මහලේ ඇති සියළු දෑ ඉවත් කොට ඒ සඳහා සූදානම් කර තබන ලෙසත් දන්වා ඇත. එසේ ඉවත් කර නොගන්නේ නම් වෙනත් පුද්ගලයන් යොදවා ඉවත් කිරීම් සිදු කරන බව 2016.11.16 දින දෙපාර්තමේන්තුවට හදිසියේ කඩාවැදී ආයතනයේ ඉහළ නිලධාරීන්ට පවසන ලදි.

මෙම දෙපාර්තමේන්තුවේ පවතින සමස්ථ ඉඩ ප්‍රමාණය ද රාජකාරී කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන තත්වයක් මත චන්දිමා රාසපුත්‍ර අමාත්‍යවරයා අනෙකුත් සියළු අධ්‍යාපන නිලධාරීන්ගේ කැමැත්ත පසෙක දමා පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ චේතනාවෙන් එම ඉඩ ප්‍රමාණය ද ආයතනයට අහිමි කිරීම පළාතේ අධ්‍යාපන කටයුතු වලට ඍජු ලෙස ම බලපෑම් කරනු ඇත.

අමාත්‍යවරයා සිය සගයන්ට විවේකාරය වශයෙන් ලබාදීමට යන මෙම ආයතනයේ තෙවන මහළ මේ වන විට දකුණු පළාතේ 30,000 කට ආසන්න ගුරුවරුන්ගේ හා අනෙකුත් කාර්ය මණ්ඩල වල ලිපිගොණු  ඇතුළත් ලේඛනාගාරය සහ තවත් ශාඛා 02 ක් ස්ථාපිත කර ඇත. අමාත්‍යවරයා පවසන ආකාරයට එම ලේඛනාගාරය සහ අනෙකුත් ශාඛා රැගෙනයාම සඳහා විකල්ප ස්ථාන මෙම ආයතනය තුළ නොමැතිවීම අප මුහුණ දී සිටින බලවත් ම ගැටළුවයි.

කිසිදු විකල්ප ස්ථානයක් ලබා නොදී අධ්‍යාපන අමාත්‍යවරයා තම දේශපාලන වාසි වෙනුවෙන් පළාත් සභා මන්ත්‍රීන්ට අල්ලස් ලෙස විවේකී සුවය ලබදීම සඳහා සූදානම් වන්නේ දකුණේ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කිඹුල් කඳුළු හෙලන අතරතුර වීම හාස්‍යයට කරුණකි.

සේවක පිරිස
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු

47 views
Main News