අධික බර පොත් බෑගය නිසා පාසල් දරුවන් ‘පැති කූදය’.. රෝගයෙන් බේරා ගැනීමට නව පාසල් පොත් බෑගයක්..

November 27, 2017 at 8:02 am | lanka C news
අධික බර පොත් බෑගය නිසා පාසල් දරුවන් ‘පැති කූදය’.. රෝගයෙන් බේරා ගැනීමට නව පාසල් පොත් බෑගයක්..

306 C 2 ජාත්‍යන්තර සිංහ සමාජ සංවිධානය විසින් සංවිධානය කළ “පැති කූදය” රෝගය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ පාගමන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී (26) පැවැත්විනි.

කොළඹ නිදහස් චතුරශ්‍ර යේ සිට නව නගර ශාලාව දක්වා පා ගමන පැවැති අතර, එහිදී රැස්විමක් ද පැවැත්විනි.

“පැති කූදය” රෝගය සදහා ශල්‍ය කර්ම ඉන්දියාව සහ සිංගප්පූරුව යන රෝහල්වල සිදු කරනු ලබයි.මෙම රෝගයට ලක් වූ දරුවන් 523 ක් දැනට ලියාපදිංචි වී ඇති බව ජාත්‍යන්තර සිංහ සමාජයේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා නිල්මිණී විතාන මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.

මෙම උත්සවය අමතා අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“පැති කූදය” නැමැති රෝගය පිළිබදව ජනතාව දැනුවත් කිරිම ඉතාම වැදගත්. මෙම රෝගයට පාසල් දරුවන් බහුතරය ගොදරු වන්නේ පාසල් බෑගය තුල ප්‍රමාණයට වඩා බරක් අන්තර්ගතවිම නිසයි. පොත් බෑගය බරින් වැඩිවිම මෙම රෝගයට දරුවන් ගොදුරුවීමට බලපා ඇති එක් කරුණක්. එම නිසා පාසල් සිසුන් සදහා නව පොත් බෑගයක් හදුන්වා දිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් හදුන්වා දී තිබෙනවා. එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතුයි.

නිවැරදි පොත් බෑගයක් ලබන වසරේ දී හදුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. එමගින් දරුවන් මෙම රෝගයට ගොදුරුවීම වළක්වා ගන්න පුලුවන්. මෙම රෝගයට ගොදුරුව විදේශීය රටවලින් අමාරු රෝගීන් සදහා ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් සහයෝගය ලබාදීමට පුලුවන්. එම ශල්‍යකර්ම ශ්‍රී ලංකාවේ ද ආරම්භ කිරීමට කටයුතු කරනවා.

මෙම අවස්ථාවට 306 C 2ජාත්‍යන්තර සිංහ සමාජයේ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරි

379 views
Main News