යතුරු පැදියක අධික බීමතින් පැමිණ තවත් යතුරු පැදියක හැපේ.. අයෙක් මරුට.. 04ක් රෝහලේ..

May 20, 2019 at 8:02 am | lanka C news
යතුරු පැදියක අධික බීමතින් පැමිණ තවත් යතුරු පැදියක හැපේ.. අයෙක් මරුට.. 04ක් රෝහලේ..

කරන්දෙණිය, ඇරව්වල පාලම අසලදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් සිව් (04) දෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට හා බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

අනතුරින් තුවාල ලැබූ පස් (05) දෙනාම බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර එයින් එක් අයෙකු බළපිටිය මූලික රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

තවත් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට මාරුකර යවා ඇති අතර අනෙක් තිදෙනා මේ වන විට බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුරින් මියගොස් ඇත්තේ පෙහෙඹියාකන්ද, කරන්දෙණිය ලිපිනයේ පදිංචි ඉලන්දාරිදේව වසන්ත (41) නැමැති අයයි.

යතුරු පැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු ව තිබෙන බව කරන්දෙණිය පොලීසිය කියයි. කරන්දෙණිය දෙසට ගමන්කර ඇති යතුරු පැදියේ තිදෙනකු (03) ගමන්කර තිබෙන බවත් එයින් මැද සිටි අය හැර අනෙක් දෙදෙනා ආරක්ෂක හිස්වැසුම් පැලද නොසිට ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. යතුරු පැදිය පදවන ලද අයට යතුරු පැදි පැදවීමේ බලපත්‍රයක් තිබි නොමැති අතර ඔවුන් අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මියගොස් ඇත්තේ මෙම යතුරු පැදිය පදවන ලද අය බවද කරන්දෙණිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

යතුරුපැදිය, ඉදිරියෙන් ගමන්ගත් ඩිමෝ බට්ටා කුඩා ලොරි රථයකට හා මෝටර් රථයකට ඉස්සර කිරීමට යෑමේදී අනතුර සිදු ව තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. අනතුරට පත් ඩිස්කවරි වර්ගයේ යතුරු පැදිය නියමිත දිශාවෙන් පැමිණ තිබෙන බවද ඔවුන් හිස්වැසුම් පැලද, යතුරුපැදි පැදවීමේ බලපත්‍ර සහිතව සිටි බවද පොලීසිය කියයි. කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන්නේ මෙම යතුරු පැදිය පැදවූ අය බවද කරන්දෙණිය පොලීසිය කියයි.

– ජයකාන්ත ලියනගේ

 

16 views

One Comment to “යතුරු පැදියක අධික බීමතින් පැමිණ තවත් යතුරු පැදියක හැපේ.. අයෙක් මරුට.. 04ක් රෝහලේ..”

  1. Sanjaya says:

    බීලා ගිය සක්කිලි ටික මැරියල්ලා

Main News