අන්තවාදයට විරුද්ධව බුදුන්වහන්සේ ධර්ම දේශනා කළා..- කිරිඇල්ල

June 10, 2019 at 6:48 pm | lanka C news
අන්තවාදයට විරුද්ධව බුදුන්වහන්සේ ධර්ම දේශනා කළා..- කිරිඇල්ල

බෞද්ධ ආගම විනාශවෙනවා යැයි කතා නිර්මාණය කරන්නේ සමහර අයට තමන්ගේ ඡන්ද පදනම සකසා ගැනීමට යයි ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි

මහනුවර පුස්සැල්ලව ප‍්‍රදේශයේදී උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය

‘බෞද්ධයන් වශයෙන් අපගේ විහාරස්ථාන ආරක්ෂාකර ගැනීම අප සැමගේ වගකීමක් වෙනවා. අපේ රට වසර 400ක් පමණ යුරෝපීය ජාතීන් විසින් පාලනය කරනු ලැබුවා. නමුත් බුද්ධාගම විනාශ වුණේ නැහැ. අද සමහර පුද්ගලයන් මේ රටේ මතයක් ඇති කිරීමට උත්සාහ කරනවා බුද්ධාගම විනාශ වෙනවා කියලා. එදා යුරෝපීය ජාතීන් තුනක් මේ රට පාලනය කළ කාලයේ බුද්ධාගම ආරක්ෂාකර ගැනීමට හැකි වූවානම් අද ශාසනය විනාශ වන්නේ කොහොමද? එය කෙසේවත් සිදු වන්නේ නැහැ.

බෞද්ධ ආගම විනාශවෙනවා යැයි කතා නිර්මාණය කරන්නේ සමහර අයට තමන්ගේ ඡන්ද පදනම සකසා ගැනීමට. පත් වූ සියඑ ආණ්ඩු බෞද්ධාගම ආරක්ෂා කළා. අද මුස්ලිම් විරෝධි උපවාසයන් සිදු කරනවා. අපගේ ධර්මය අනුව උපවාස කොට සියදිවි නසා ගැනීමට උත්සාහ කිරිම පාපකර්මයක්. අපේ බෞද්ධ ආගම කියන්නේ මැද පිළිවෙළ අනුගමනය කරනු ලබන දහමක්. අන්තවාදයට විරුද්ධව බුදුන්වහන්සේ නොයෙක් දේශනා කළා.

උපවාසයෙන් අනතුරුව මුස්ලිම් අමාත්‍යවරු ඒ අයගේ ධුරවලින් ඉවත් වුණා. නමුත් අපි ප‍්‍රණාමය පුදකළ යුතුයි මල්වතු අස්ගිරි ත්‍රෛනිකායික මහානායක හිමිවරු ප‍්‍රකාශයක් නිකුත්කර ලෝකයට පෙන්වූවා බුදුන්වහන්සේගේ මැද පිළිවෙත කුමක්ද යන්න. මහානායක හිමිවරු කියා සිටියේ අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට නැවත සිය ඇමතිකම් භාරගන්නා ලෙස. මහානායකහිමිවරු අන්තවාදයට පහරක් එල්ලකළා. අපේ රටට අන්තවාදය අවශ්‍ය වන්නේ නැහැ. ඒවගේම මල්වතු අස්ගිරි භික්ෂූන් වහන්සේලාගේ ප‍්‍රකාශය නිසා අපේ රටේ ආත්මගරුත්වය ආරක්ෂා වුණා. සෑම ජාතියකම අන්තවාදීන් සිටිනවා. නමුත් සියයට අනූවක්ම මධස්ථ මතධාරී පිරිස් මේ රටේ ජීවත් වන්නේ. කුමන පැත්තකින් ආවත් අපි අන්තවාදයට විරුද්ධයි.

– මාධ්‍ය එකකය

146 views
Main News