අනියම් පෙම ගිනි ඇවිලේ.. පෙම්වතීට පහර දී මරා දමයි..

August 23, 2018 at 2:30 am | lanka C news
අනියම් පෙම ගිනි ඇවිලේ.. පෙම්වතීට පහර දී මරා දමයි..

අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් පහර දී ඝාතනය කර හදිසි අනතුරකට ලක් වූ බව පවසා බළපිටිය මූලික රෝහලට බාර දෙන ලද ඌරගස්මන්හන්දිය, යටගල ප්‍රදේශයේ තරුණියගේ ඝාතනයට සම්බන්ධ බව කියන ඇයගේ අනියම් පෙම්වතා 2018 අගෝස්තු මස 29 වන දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග කළේය.

නඩුව නැවත කැදවන අගෝස්තු 29 දින ඝාතනයට ලක් වූ තරුණියගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි තව දුරටත් කැදවන බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පරප්පුව, පැලෑගස්පළාත, කොස්ගොඩ ලිපිනයේ පදිංචි හේවගේ තිලාන් ජයසිංහ (27) නැමැති අයයි. ඌරගස්මන්හන්දිය, යටගල ප්‍රදේශයේ පදිංචිව සිටි සුරංගි සදමාලී නැමැති 24 හැවිරිදි අවිවාහක තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

විවාහකයෙකු වන සැකකරු, ඝාතනයට ලක් වූ අවිවාහක තරුණිය සමග දීර්ඝ කාලයක සිට අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ. සැකකරුට අයත් වෑන් රථයෙන් සැකකරු සමග මෙම තරුණිය බොහෝ අවස්ථාවල  විවිධ ගමන් බිමන්ද ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

ඇගළුම් කම්මලක සේවය කරන ඝාතනයට ලක් වූ තරුණිය සේවය නිම වී පසුගිය ජුනි 12 දින රාත්‍රී නිවසට පැමිණෙමින් සිටියදී සැකකරු විසින් සිය වෑන් රථයට නංවාගෙන තිබේ. එයින් පසුව දෙදෙනා අතර ඇති වූ කතාබහක් බහින්බස් වීමක් දකවා දුරදිග ගොස් ඇත. එහිදී ඝාතනයට ලක් වු තරුණිය, සැකකරුගේ කම්මුලට වැරෙන් පහරක් එල්ල කර තිබෙන බවත් එයින් පසු සැකකරු වාහනයේ ජැක් ලිවර් එක රැගෙන තරුණියට පහරක් එල්ල කර ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

තරුණියගේ හිස ඉලක්ක කරගෙන එල්ල කරන ලද එම පහර බෙල්ලට වැදුන බවද සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත. එයින් පසුව තරුණිය සිහි සුන්ව ඇද වැටී ඇති බවත් සිය වෑන් රථයෙන්ම තරුණිය බළපිටිය මූලික රෝහලට ඇතුලත් කළ බවත් සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ.

තරුණිය බළපිටිය මූලික රෝහලට රැගෙන එන ලද වෑන් රථයේ අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සැකකරුගේ විවාහක බිරිය මීට වසර දෙකකට පමණ පෙර සැකකරු අතහැර ගොස් තිබෙන බවත් ඇය එයින් පසුව සැකකරු සමග කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නොමැති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

– ජයකාන්ත ලියනගේ

7,156 Viewers

One Comment to “අනියම් පෙම ගිනි ඇවිලේ.. පෙම්වතීට පහර දී මරා දමයි..”

  1. mahinda says:

    මෙය අනියම් පෙමකින් පුතාගේ මිතුරා ව්‍යාග්‍රා අධි මාත්‍රාවකින් ම රුට යන්නෙන් සන්සෝධනය වූවානම් මැනවයි.

Main News