අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධි දෙකක් පිළිබද සුව ඇමැති උපදෙසින් පරීක්ෂණයක්…

September 15, 2017 at 2:04 am | lanka C news
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධි දෙකක් පිළිබද සුව ඇමැති උපදෙසින් පරීක්ෂණයක්…

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විනෝද චාරිකාවක් හේතුවෙන් වකුගඩු බද්ධ සැත්කමක් මගහැරීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා පදනම් කර ගනිමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට නියෝග කර ඇත.

මෙම චාරිකාව හේතුවෙන් වකුගඩු රෝගීන් දෙදෙනෙකුට වකුගඩු බද්ධ කිරීමට තිබූ අවස්ථාව ගිලීහී ගොස් ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. තවද වකුගඩු දෙකක් පරිත්‍යාග කිරීමට සිටි පුද්ගලයා ද අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අතර‍ එම රෝගීයා ද පසුව මියගොස් ඇත. මාධ්‍ය වාර්තා පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පිළිබද පරීක්ෂණයක් පවත්වා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත. චාරිකාවට වඩා රෝගී සත්කාර සේවාව කෙරෙහි දැඩි අවධානය යොමු කිරීම සෞඛ්‍ය සේවකයින්ගේ වගකීම බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් රෝගීන්ට නිසි පරිදි ප්‍රතිකාර සේවා නොලැබෙන බව ප්‍රකාශ කරමින් පුද්ගලයෙකු එම රෝහල ඉදිරිපට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කිරීම පිළිබදව ද සොයා බලන ලෙස සෞඛ්‍ය අඅමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත.

– ප‍්‍රසන්න අධිකාරී

30 views
Main News