අපි හැමෝම නෙල්සන් මැන්ඩෙලාලා වෙමු.. බලය අතහරිමු..- ජනපති ලෝක නායකයන් අමතමින් කියයි..

September 25, 2018 at 6:48 pm | lanka C news
අපි හැමෝම නෙල්සන් මැන්ඩෙලාලා වෙමු.. බලය අතහරිමු..- ජනපති ලෝක නායකයන් අමතමින් කියයි..

සාමය, සංහිදියාව සහ මානවවාදය පිළිබද ලෝකයට වැදගත් පාඩම් කියාදුන් විශිෂ්ට චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය අද සියලූ ලෝක නායකයින් අධ්‍යයනය කළයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමිනි.

නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුළුව සංවිධානය කර තිබුණි.

ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ නෙල්සන් මැන්ඩෙලාගේ විශිෂ්ට චරිතය හා එම ගමන් මග සිහිපත් කිරිමට සිදුව ඇත්තේ අද ලෝකය ගමන් ගන්නේ එවන් මගක නොවන නිසා බව යි.

බලය අතහැරීම සහ බලය සීමාකිරීම පිළිබඳ එතුමාගේ චරිතය ආදර්ශයන් රැසක් ලබාදුන් බව ද පැවසූ ජනාධිපතිවරයා නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලූ නායකයින්ට ආරාධනා කරන බවද කියා සිටියේය.

සාමය පිළිබඳ ගමන් මග ලොවට කියා දුන් ශ්‍රේෂ්ට මානවවාදී චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය වෙනුවෙන් මෙවන් සාම සමුළුවක් සංවිධානය කිරීම පිළිබඳ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ස්තූතිය පිරිනැමීය.

“එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ” සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත් වේ.

එහි ප‍්‍රධාන සැසිවාරය අද (25) ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරන අතර, ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව් වන අවස්ථාව මෙයයි.

මේ අතර ඊයේ පැවැති ලෝක මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳ ගෝලීය කි‍්‍රයාමාර්ගයක් සඳහා වූ විශේෂ හමුවටද ජනාධිපතිවරයා සහභාගී විය. ක්ෂය රෝගය මැඩලීමේ ව්‍යාපාරය සඳහා වූ සැසියක් සහ බෝ නොවන රෝග පිළිබඳ සමුළුවක් ද මෙවර ප‍්‍රධාන සැසිවාරයට සමගාමීව සියලු රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබේ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

271 views
Main News