‘අප වහලුන් නොවේ…’ : පොහොට්ටුව හැර ආණ්ඩුවේ සෙසු පක්‍ෂ ඒකාබද්ද මාධ්‍ය හමුවක..

February 3, 2021 at 10:26 pm | lanka C news
‘අප වහලුන් නොවේ…’ : පොහොට්ටුව හැර ආණ්ඩුවේ සෙසු පක්‍ෂ ඒකාබද්ද මාධ්‍ය හමුවක..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් සංවර්ධනය කිරීමට ගත් තීන්දුව මෙන් 69 ලක්ෂයේ ජන වරමෙහි පූජනීයභාවය රැක දෙන තීන්දු ගැනීමට ජනාධිපතිතුමන්ට ඇති වන යම් බාධාවන් පවතී නම් ඒවා ඉවත් කර දෙමින්, ජනවරමට එරෙහි වන ආණ්ඩුව තුළ හෝ පිටත සිටින කවර පාර්ශ්වයක් සමඟ හෝ ගැටීමට කිසි විටෙකත් බිය නොවී කටයුතු කිරීම ආණ්ඩුව තුළ සිටින තම පක්ෂය ඇතුළු පක්ෂ 10හි ස්ථාවරය යැයි ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද (03) තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාක් හෝටල් ශ්‍රවණාගාරයේ පැවති ආණ්ඩුවේ පක්ෂ 10ක නායකයන්ගේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

” කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ප්‍රශ්නය අපේ ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳ තීරණය කරන ප්‍රශ්නයක් බවට පත්ව තිබුණා. 2017 දී එවකට ඇමතිවරයෙකු වූ මලික් සමරවික්‍රම මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරිය සමඟ ඇතිකරගත් ගිවිසුමකින් ඉන්දියාව සමග ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති 10ක් ඇරඹීමට එකඟත්වය පළ කොට තිබුණා. ඉන් එක් ව්‍යාපෘතියක් තමයි කොළඹ වරායේ එක් ජැටියක් ඉන්දියාව සමග පවත්වාගෙන යාම. ඒ වගේම සාගල රත්නායක හිටපු ඇමතිවරයා 2019 දී අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට තිබුණා, එම ගිවිසුම මගින් නිශ්චිතව නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය සමඟ එකතුවෙලා පවත්වාගෙන යාම සඳහා.

‘ මෙවැනි තීන්දුවක් ගැනීම පහසු නැහැ’

එවැනි තත්වයක් යටතේ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුව බිහි වන්නේ. ඉහත ගිවිසුම් මගින් පැවැති ආණ්ඩුව යම් බැඳීමක් ඇති කර තිබූ නිසා තමයි නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් යම්කිසි විවාදාත්මක වාතාවරණයක් හැදුණේ. නමුත් අවසානයේ අපේ ආණ්ඩුව තීරණාත්මක නිවැරදි තීන්දුවක් ගනු ලැබුවා, කොළඹ වරායේ තිබෙන ඉතාමත් වැදගත් සහ සුවිශේෂී ලෙස ආදායම් නිපදවිය හැකි නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් එය සංවර්ධනය කොට පවත්වාගෙන යාමට. මෙය ඉතා වැදගත් තීන්දුවක්. මෙවැනි තීන්දුවක් ගැනීම පහසු නැහැ. මෙම තීන්දුව ගත් පසු ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය දක්වා ඇති ප්‍රතිචාර අනුව පෙනෙන්නේ ඔවුන් මෙම තත්ත්වය කැමැත්තෙන් පිළිගන්නා බවක් නොවේ. ඒ කෙසේ වෙතත් රටේ අභිවෘද්ධිය ගැන ජනාධිපතිතුමන් මේ අසීරු සහ අභියෝගාත්මක තීරණය අරගෙන තිබෙනවා. ඒ පිළිබඳව අපි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් විදියට ජනාධිපතිතුමන්ට අපගේ කෘතවේදීත්වය සහ ගෞරවය පළ කර සිටිනවා.

සමහරු කියනවා භූ දේශපාලන යථාර්ථය දන්නවානම් ඉන්දියාවට නැගෙනහිර පර්යන්තය දිය යුතුයි කියා. භූ දේශපාලන යථාර්ථයක් තිබෙන බව ඇත්ත. ඉන්දියානු සාගර කලාපයේ බලය පිළිබඳ ප්‍රශ්නයේදී ඉන්දියාව ඇමරිකාව සමග එකට සිටිමින්, චීනය වෙනම සිටිමින් තම තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා විශාල මෙහෙයුම්වල නිරත වන බව අපි දන්නවා. ඒ නිසා ඒ කවර පාර්ශ්වයකවත් ගොදුරක් නොවී සිටීමට අපට රටක් ලෙස හැකි විය යුතුයි. එම බල කේන්ද්‍ර දෙකෙහි කවර පාර්ශ්වයක හෝ කොටස්කරුවෙකු නොවුණහොත් තමයි අපට නොබැඳි පිළිවෙතින් රටක් ලෙස ඉදිරි ගමනක් යා හැක්කේ. මේ සියල්ල ගැන සිතා තමයි අපේ රට ගැන, රාජ්‍ය නායකයන් තීන්දු ගත යුතුව ඇත්තේ.

‘ අපි දේශපාලන වහලුන් නොවෙයි’

මෙම තීන්දුව ගැනීමට ප්‍රථම අපි ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක් ලෙස මෙම ගැටලුව පිළිබඳ අපේ ස්ථාවරය පවසනු ලැබුවා. එම ස්ථාවරයට අනුකූලව නිවැරැදිම තීන්දුව ගෙන ඇති මේ මොහොතේ ඒ පිළිබඳව අපේ ප්‍රතිචාරය හා ප්‍රණාමය පුද කරන්න අපට වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කරමින් තමයි මෙලෙස මාධ්‍ය හමුවක් කැඳවූයේ. ආණ්ඩුව තුළ සිටිමින් අපට දේශපාලන පක්ෂ නායකයන් ලෙස ඉටු කළ යුතු භූමිකාවක් තිබෙනවා. කවුරුත් සිතිය යුතු නැහැ අපි කවර පාර්ශ්වයක හෝ දේශපාලන වහලුන් කියා. අපේ මේ හැම පක්ෂයකටම ස්වාධීනත්වයක් සහ අනන්‍යතාවක් තිබෙනවා. අපි 69 ලක්ෂයේ ජනවරම ආරක්ෂා කිරීමට කැප වන දේශපාලන පක්ෂයි. එය තමයි අපේ පක්ෂවල ප්‍රමුඛතාව. ඒ හැර වෙන කිසිම දෙයකට අපි ප්‍රමුඛතාව දෙන්නේ නැහැ.

‘ පක්ෂ දහයෙහි ස්ථාවරය’

මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධුරයට පත් කිරීමෙන්, පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දීමෙන් ආණ්ඩුව පිළිබඳ තබා ඇති බලවත් අපේක්ෂාවන් ඉෂ්ට කිරීමට ජනාධිපතිතුමන්ට යම් බාධාවක් තිබෙනවා නම් ඒවා ඉවත් කර දීමට අපි සූදානම්. ජන වරමට එරෙහි වන ආණ්ඩුව තුළ හෝ පිටත සිටින කිසිදු පාර්ශ්වයක් සමග ගැටීමට අපි බිය විය යුතු නැහැ. මෙම පක්ෂ දහයේ ස්ථාවරය එයයි.

අපි වගකියන්නේ අන් කවරකටත් වඩා ලැබී ඇති ජනවරමටයි. මේ රටේ පොදු ජනතාව මහා අපේක්ෂාවන් දල්වා ගෙන කවර අවස්ථාවකදීවත් නොකළ ආකාරයට මේ ආණ්ඩුවට 2/3 ක බලයක් ලබාදී තිබෙනවා. මේ ආණ්ඩුව ගැන එතරම් විශ්වාසයක් තැබූ ජනතාවකගේ අරමුණු හා පරමාර්ථ නළලේ මුදුනේ තබාගෙන යන මාර්ගයකයි අපි ගමන් කරන්නේ. ඒ මහජන අපේක්ෂාවන් හා පරමාර්ථයන් යථාර්ථයක් බවට පත් කිරීමට අපි සියලුදෙනා කැප වන බවට සපථ කරනවා. නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයේදී මැදිහත් වූ ආකාරයටම 69 ලක්ෂයේ ජනවරමේ පූජනීයභාවය රැක දීමට අපි ඇප කැප වන බව ද අවධාරණය කරනවා.”

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂය ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග යන පිරිස මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

118,944 views

25 Comments to “‘අප වහලුන් නොවේ…’ : පොහොට්ටුව හැර ආණ්ඩුවේ සෙසු පක්‍ෂ ඒකාබද්ද මාධ්‍ය හමුවක..”

  1. Sun says:

    We all have freedom to express our views in a democratic way. No one can stop that. But we know there is an accepted criteria. We know so called democratic countries have the same type of democracy. If watch them carefully we can see the reality of it. All are just playing a role for their survival. Ours probably is the same but we must be in a position to negotiate prior the meeting.

  2. අපේ රට says:

    “සිරිමාවෝ මැතිනිය” ඉන්දියාව සමග “සිරිමා ශාස්ත්‍රි” ගිවිසුම, “කච්චතිවි අත්පත්කරගැනිම”, වැනි රටට හිතැති දේ රටත් විදේශ ප්‍රතිපත්තියත් රැකගනිමින් සාර්තකව ඉටුකලා. එවගේම චිනය සමගත් “රබර් සහල් ගිවිසුම”, “BMICH ” “කොළබ අධිකරණ සංකිර්ණය” වැනි දැ කරගත්තා වගේම .ලෝක නායකයන් ගෙන්නා “නොබැදි සමුළුව” පවත්වා ලංකාව ලෝක තලයට ගෙනිච්චා. මේ ගැන පුලුල්ව ගැබුරින් සොයාබලා සැවොම සමගින් හොද හිත තබාගනිමින් එහෙත් තම අභිමානය රදවගනිමින් ඉදිරියට යමු

    • ජනජය says:

      ඔබේ කරුණු දැක්වීමට සම්පූර්ණයෙන් එකගයි ..ස්තූතියි අපේ කුලියට කොටන කෂ්ටියට මතක් කරල දුන්නට ..

Main News