අප විඳි වේදනාවෙන් අන් දෙමාපියන් මුදවන්නට උපරිමයෙන් කැපවෙනවා – කතානායක

February 17, 2017 at 2:08 am | lanka C news
අප විඳි වේදනාවෙන් අන් දෙමාපියන් මුදවන්නට උපරිමයෙන් කැපවෙනවා – කතානායක

තම පවුලේ සාමාජිකයෙකු හෝ සමීපතමයෙකු පිලිකා රෝගයට ගොදුරු වීම ඕනෑම තරාතිරමක පවුලකට දරා ගත නොහැකි වේදනාවක්, කම්පනයක් ඇති කරන බවත් පියෙකු ලෙස ඒ කටුක අත්දැකීම විඳි තමන් සහ තම පවුලේ සියළු දෙනාම අසරණ මිනිසුන් පිලිකා රෝගයෙන් බේරා ගැනීමටත්, පිලිකා රෝගය වැළඳුණු පුද්ගලයන්ට පිහිට වීමටත් උපරිමයෙන් කැප වීමට අදිටන් කොට ගෙන සිටින බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

පිළිකා රෝගය වැළඳුන රෝගියෙකුට ප්‍රතිකාර තරමටම ජීවිතය පිළිබඳ බලාපොරොත්තු රැඳවීම සහ ආත්ම ශක්තියකින් යුතුව එයට මුහුණු දීමට මානසික ශක්තිය ලබා දිය යුතු බව ද එවන් රෝගීන්ට ආදරය, කරුණාව, රැකවරණය ලබා දීම මහඟු පුණ්‍ය කර්මයක් මෙන්ම ශ්‍රේෂ්ඨ මානව ගුණාංගයක් බව ද හෙතෙම පැවසීය.

කථානායක කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර, කුරුන්දන්කුලම, සේනානායක මාවතේ ශ්‍රී ලංකා පිලිකා සරණ සංගමය විසින් ඉදි කළ පිලිකා සරණ රැකවරණ පියස දෙවන අදියර විවෘත කිරීම සඳහා පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

මින් වසර 5කට පෙර පිලිකා සරණ සංගමයේ නිර්මාතෘ වෛද්‍ය සමාධි විශ්වනාත් රාජපක්ෂ මහතාගේ ඉමහත් කැපවීමෙන් ආරම්භ කළ කුරුකුන්දලම පිලිකා සරණ රැකවරණ මධ්‍යස්ථානය මෙම දෙවන අදියරත් සමග පිළිකා රෝගීන් හතලිස් පස් දෙනෙකු සඳහා‍ නේවාසික හෙද පහසුකම් සැලසීමට හැකි සත්කාරක මධ්‍යස්ථානයක් බවට පත් වෙයි. ආහාර පාන මූලික ප්‍රතිකාර ඇතුළු සියළුම සේවාවන් නොමිලේ සැලසෙන මෙම මධ්‍යස්ථානයේ මේ වන විට රෝගීන් දහසක් ඉක්මවන ප්‍රමාණයක් නේවාසිකව සත්කාර ලබා ඇත.

රැකවරණ මධ්‍යස්ථානයේ දෙවන අදියර විවෘත කිරීම උත්සවයේ මුලසුන හෙබවූ මිහින්තලේ රාජමහා විහාරාධිපති වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන් අනුශාසනාවක් කරමින් සඳහන් කළේ තරුණ වෛද්‍යවරයෙකු ලෙස සමාධි විශ්වනාත් රාජපක්ෂ මහතා මහත් දුෂ්කර ක්‍රියාකාරමින් ආරම්භ කළ පිලිකා සරණ සංගමයට කථානායක කරු ජයසූරිය මහතා වැනි ලෝකයේ පිලිගැනිමක් ඇති ශ්‍රී ලාංකීය ජන නායකයෙකුගේ සහාය ලැබීමෙන් එහි සේවය වඩාත් පුළුල් වනු ඇති බවය.

වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පිලිකා සරණ සංගමය වෙනුවෙන් කරන කැපවීම මෙරට සියළු වෘත්තිකයන්ට ආදර්ශයක් බව ද මෙහිදී සදහන් කළ කථානායක කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේ මුල් අවස්ථාවේදී හඳුනා ගැනීම තුලින් පිලිකා රෝගයෙන් ජීවිත බේරා ගැනීමට දියුනු රටවල පවතින ආකාරයෙන් පුළුල් වැඩසටහනක් අවශ්‍ය බවය.

ඒ සඳහා ගමින් ගමට ගොස් කාන්තාවන්ට ඇති විය හැකි පියයුරු පිලිකා අවදානම පරීක්ෂා කරන ජංගම මෙමෝ ග්‍රෑම් යන්ත්‍ර විදෙස් රටවලින් ආනයනය කිරීමට පිලිකා සරණ සංගමය සහ සිය දියණියගේ නාමයෙන් තම පවුලේ සාමාජිකයන් එක්ව ආරම්භ කළ පිලිකා සරණ භාරය කටයුතු කරමින් සිටින බව ද නොබෝ දිනකින්ම නොමිලේ ක්‍රියාත්මක එම ව්‍යාපෘතියේ පල ලැබීමට රටේ මව්වරුන්ට, දියණිවරුන්ට හැකි වනු ඇති බව ද කථානායකවරයා කීවේය. එමෙන්ම දැනටමත් පිලිකා සරණ භාරය විසින් එම රෝගීන් සදහා සහාය වන ගාස්තු රහිත නොමිලයේ ඇමතිය හැකි ක්ෂණික ඇමතුම් සේවාවක් 011-2363211 ඔස්සේ අරඹා ඇති බව ද ඉදිරියේදී කුඩා දරුවන් වෙනුවෙන් රැකවරණ පියසක් මහරගම අපේක්ෂා රෝහල නුදුරින්ම අරඹන බව ද හෙතෙම සදහන් කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා :

අප හැමෝම මේ සොබා දහම් චක්‍රයේ කොටසක්. සොබා දහමෙන් ඈත් වී, අපගේ ජීවන රටාවේ ඇති වූ වෙනස්කම් ඇතැම් විට මෙතරම් පිලිකා රෝගය සමාජයට තර්ජනයක් වීමට හේතු වන්නට ඇති.

අප කුඩා කාලයේ මෙය ඉතාම දුර්ලභව අසන්නට ලැබුනු දෙයක්. නමුත්, එය අද බෝ ‍නොවන රෝග අතර, ඉතාම භයංකර තත්ත්වයක පවතිනවා. අප සියළු දෙනා එක්ව ඊට එරෙහිව සටන් කළ යුතු කාලය එළඹ තිබෙනවා. එහිදී සමාධි රාජපක්ෂ මහතා වැනි තවත් වෛද්‍යවරු කිහිප දෙනෙක් අපට සිටියා නම් කෙතරම් ශක්තියක් ලැබෙනු ඇති දැයි කල්පනා වෙන්නේ ඔහු තම තරුණ ජීවිතය අසරණ රෝගීන් වෙනුවෙන් කැප කර ඇති ආකාරය දකින විටයි.

කුරුන්දන්කුලම පිළිකා රැකවරණ මධ්‍යස්ථානය සුන්දර පරිසරයක දියුණු පහසුකම් සහිත ස්ථානයක් බවට පත් කරන්නට ඔහු කර තිබෙන කැපවීම ගැන අප කාගේත් ගෞරවය ඔහුට හිමි විය යුතු යැයි ද කරු ජයසූරිය මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ පිලිකා සරණ සංගමයේ නිර්මාතෘ වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසූයේ තමා සීමා වාසික පුහුණුව අවසන් කළ පසු පිලිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විදින දුක දැක මෙවන් මධ්‍යස්ථානයක් ඇරඹීම සදහා මුල්ම මුදල සොයා ගැනීමට අනුරාධපුරයේ සිට මහනුවර දක්වා පා ගමනින් ආධාර එකතු කරමින් තනිවම ගමන් කළ බවය.

එහිදී ජනතාව ලබාදුන් රුපියල දෙක පවා එකතු කර මුලින්ම රුපියල් ලක්ෂ තුනක මුදලකින් මෙම දැවැන්ත ව්‍යාපෘතියට උපත දුන් බවය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ, උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක අනිල් රත්නායක, පළාත් සභා මන්ත්‍රීවරුන් වන නීතිඥ කස්තුරි අනුරාධනායක, රෝහණ බණ්ඩාර යන මහත්වරු ද එක්ව සිටියහ.

– චන්දිම ගමගේ

9 views

One Comment to “අප විඳි වේදනාවෙන් අන් දෙමාපියන් මුදවන්නට උපරිමයෙන් කැපවෙනවා – කතානායක”

  1. Susil says:

    Dr. Samadhi Rajapakse
    You are a selfless human worthy to be a doctor. One day, you would be in the path to be a Lord Buddha.

Main News