අප සන්ධාන ගත වුණේ සිරිසේන සමග නොවේ.. ශ‍්‍රීලනිපය සමගයි..

February 19, 2020 at 6:48 pm | lanka C news
අප සන්ධාන ගත වුණේ සිරිසේන සමග නොවේ.. ශ‍්‍රීලනිපය සමගයි..

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගොඩ නැගීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වූයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේය.

මෙය පක්ෂ එකමුතුවක් බවත් එය එක් පුද්ගලයකුට සීමා කළ නොහැකි බවත් එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විවිධ දේශපාලන මත දරන පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනැගූ මෙම නව සන්ධානය හරහා එක්කර ඇති බවත් එහි ගෞරවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට හිමිවිය යුතු බවත් ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

‘‘පොදුජන පෙරමුණේ ඉන්න බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අත්පොත් තබපු අය. ඒ නිසා ප්‍රධාන ධාරාවන් දෙකක් ඒ ධාරාවන්ට සහාය දක්වන අනෙකුත් පක්ෂත් ප්‍රගතිශීලී කඳවුරක් ලෙස එකට එකතුවීම ඉතාමත් සුබදායක දෙයක්. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය පිටුපස තිබුණු දේශපාලන ගතික භාවය වැඩි කරන්න මෙම සන්ධානය ඉවහල් වෙයි කියලා අපි හිතනවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ දේශපාලන පරිණතභාවය, දේශපාලන විචක්ෂණ භාවය මේකට ඉවහල් වුණා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද මෙම සන්ධානය සමග එක්වීමේ සූදානමක් ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ ඇය පසුගිය වකවානුවේ කටයුතු කළ ආකාරය පිළිබඳව පැහැදීමක් නොමැති බවයි. එසේම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව ඇතැම් පාර්ශ්වවලින් එල්ල වන චෝදනා පිළිබඳවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළේය.

‘‘යම් පුද්ගලයෙක් වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ පිළිබඳ විමර්ශන පැවැත්වෙනවා නම් ඊට මුහුණ දීම ඒ පුද්ගලයාට අයිති දෙයක්. ඒක පක්ෂයට අයිති ප්‍රශ්නයක් නෙමෙයි.’’

– aruna

167 views
Main News