අභය භූමියේ මහා පරිමාන වැලි ජාවාරමක්..

September 20, 2020 at 12:40 pm | lanka C news
අභය භූමියේ මහා පරිමාන වැලි ජාවාරමක්..

නවගත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් තබ්බෝව අභය භුමිය තුළ පිහිටා ඇති රළපනාව වැව් පිටිය තුළ  කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරනු ලබන මහා පරිමාණ වැලි කැණීමක් හේතුවෙන් වැව් පිටිය තුළ දැවැන්ත පරිසර සංහාරයක් සිදුව ඇති ආකාරයක් දක්නට ලැබේ.

නවගත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මහබැද්දෑව ග්‍රාම නිලධාරි වසමට අයත් තබ්බෝව අභය භූමිය තුළ පිහිටා ඇති ප්‍රෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමක් ඇති රළපනාව වැව ප්‍රදේශයටම ආර්ථික කේන්ද්‍රස්ථානයක්ව බවට පත්ව තිබේ.

මෙම වැව ආශ්‍රිතව ධීවර මෙන්ම කෘෂිකාර්මික කටයුතු වල නියෙලෙමින් පවුල් විශාල පිරිසක් සිය ජීවනෝපාය සරිකර ගන්නා බවද කියයි.

අමතරව ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන සංකල්පයේ සංකේතයක් බදුවූ මෙම වැව ඉස්මත්තේ විහාරස්ථනය පිහිටි ඇති ආකාරයක් දක්නට ලැබේ. නමුත් ගමේ වැවේ සුන්දරත්වයට විනකටිමින් වැව් පිටියේ සංවිධානාත්මක ජාවාරමුන් පිරිසකගේ එකමුතුවෙන් සිදුකරනු ලබන මහා පරිමාණ වැලි කැණීමක් හේතුවෙන් මේ වන විට වැව් පිටියේ ස්ථාන කිහිපයක විශාල ප්‍රමාණයේ වළවල් සෑදී ඇති ආකාරයක් දක්නට ලැබේ.

මෙම වැලි ජාවාරමුන් රාත්‍රි කාලයේ විදුලි අලි වැට ගලවා ඉවත් කර අභය භූමියට අනවසරෙන් ඇතුළුවී වැව් පිටිය තුළ සංවිධානාත්මකව ඉවක් බවක් නොතකා මෙම වැලි ජාවාරම ඉතාමත් සූක්ෂම ලෙස සිදුකරගෙන යන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

අදාල වැලි ජාවාරම ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන ප්‍රබල පෙලේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු විසින් මෙහෙයවනු ලබන අතර, දිනකට ටිපර් රථ 5ක් හා ට්‍රැක්ටර් රථ 3ට ආසන්න ප්‍රමානයක් යොදා ගෙන වැලි කියුබ් 30ට නොඅඩු ප්‍රමාණයක් බල පත්‍ර රහිතව ප්‍රවාහනයේ යෙදෙන බව කියයි.

මෙම දැවැන්ත වැලි සංහාරය හේතුවෙන් මේ වන විට වැවේ තැනින් තැන විශාල ප්‍රමාණයේ වළවල් සෑදී ඇති අතර, දැනට වැලි කියුබ් 200ට ආසන්න ප්‍රමාණයක් වැවේ මෙසේ ඉවක් බවක් නොතකා හාරා රැගෙන ගොස් ඇති බව වාර්තාවෙයි.

මෙම වැලි කැණිම සදහා මෙම පිරිස් ඉතා සූක්ෂම ලෙස විදුලි අලි වැට කඩා බිද දමා වැව් පිටියට ඇතුළු වී සිදුකරනු ලබන මේ මහා පරිමාණ වැලි ජාවාරම හේතුවෙන් අභය භූමියේ සිට වල් අලි රංචු වශයෙන් ගම්මානය වෙත ඇදී ඒමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව කියයි.

– ප්‍රියංකර කළුපහන

5,711 views

2 Comments to “අභය භූමියේ මහා පරිමාන වැලි ජාවාරමක්..”

  1. Saradiel says:

    මේවා පටන්ගත්තේ යමපාලන රජයෙන් දැන් නැවතීමට කාලය හරි

  2. John the baptice says:

    නවගත්තේගම පොලිසිය තවමත් නිදිද ලැජ්ජයි

Main News