අයවැය නිසා ගමට යන්න බෑ.. අපිට කටඋත්තර නෑ.. – මුතුහෙට්ටි

November 15, 2016 at 6:44 pm | lanka C news
අයවැය නිසා ගමට යන්න බෑ.. අපිට කටඋත්තර නෑ.. – මුතුහෙට්ටි

මුදල් ඇමතිවරයා විසින් නව අයවැය සඳහා වූ යෝජනා රට හමුවේ තබනු ලැබීමත් සමග ගමට යාමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

පක්ෂ පාට භේදයකින් තොරව රටේ ජනතාව මෙවර අයවැයෙන් සහන අපේක්ෂා කළත් එම ජනතා බලාපොරොත්තු ඉටුවී නොමැති බව නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ ගාල්ලේ පැවති උත්සවයක් අමතමිනි.

“මුදල් ඇමතිතුමා පැය හතරක් දේශනා කරලා ලබා දීපු අයවැය අවසන් වෙලා අපි ගමට ආවම ජනතාව අහන්නේ කෝ සර් අයවැයෙන් මුකුත් නැහැනේ කියලා. අපිට දෙන්න උත්තරයක් නැහැ.” ඔහු පැවසීය.

“අයවැය හදන්න කලින් ගමට ගියා, නමුත් දැන් ගමට යන්න බැරි තත්වයක් තියෙන්නේ,” යනුවෙන් කියා සිටි නියෝජ්‍ය ඇමතිවරයා රියදුරු දඩ මුදල් සහ තවත් වැඩිවන ගාස්තු කීපයක් සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ද ඇතුළුව සකසන ලද මෙවර අයවැයට පක්ෂයේ අභිමතය පරිදි සිය සහාය ලබාදෙන බව කියා සිටි නියෝජ්‍ය ඇමතිවරයා අයවැය වාර්තාවේ අඩංගු ජනතාවට රිදෙන යෝජනා ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් ඉල්ලා සිටියේය.

– BBC

14 views
Main News