අලි රංචුවක් මහ කුඹුරු යායක් වනසති…

August 13, 2022 at 2:05 am | lanka C news
අලි රංචුවක් මහ කුඹුරු යායක් වනසති…

පුත්තලම එළුවන්කුලම ප්‍රදේශයේ කුඹුරු අක්කර 625ක් වල් අලි ග්‍රහණයට නතු වෙමින් දිනෙන් දින විනාශයට ලක්ව ඇති බවට ගොවියෝ මැසිවිලි නගති.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දකුණු මායිම්ව පිහිටා ඇති තවුසමඩුව ප්‍රදේශයේ සිදු කර ගෙන යනු ලබන කුඹුරු වෙත මේ දිනවල රාත්‍රි කාලයේදී රංචු වශයෙන් පැමිණෙන වල් අලි සිය කුඹුරු සම්පූර්ණයෙන්ම විනාශයට ලක් කරන බව කියයි.

මෙලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිට රාත්‍රි කාලයේ ගම්මානය වෙත පැමිණෙන වල් අලි එළුවන්කුලම තව්සමඩුව ප්‍රදේශයේ කුඹුරු ඉඩම් වෙත පැමිණ සිය වගාවන් මුළුමනින්ම විනාශයට ලක් කරන බව කියයි.

මෙසේ වල් අලි ගම්වැදීමට බලපා ඇති ප්‍රධාන හේතුව ලෙස ගොවියන් පෙන්වා දෙන්නේ දැනට රජය විසින් ඉදිකර ඇති විදුලි අලි වැට නිසි නඩත්තුවකින් තොරව අක්‍රිය තත්ත්වයේ පැවතීමත්, වන ජීවි නිළධාරින්ගේ අධීක්ෂනයක් නොමැතිවීම යන හේතු මත වල් අලි ගම්වැදීම නිරායාසයෙන්ම සිදු වන බවයි.

පසු ගිය දිනවල රට පුරා පැවති උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ සී සෑමට අවශ්‍ය ඉන්ධන නොමැතිව මහත් පරිශ්‍රමයක් දරා මොවුන් සී සෑමේ කටයුතු සිදු කර වී වගාව සිදුකලද මේ වන විට ගොයම් පීදීමට ආසන්නව තිබියදී මෙලෙස රාත්‍රි කාලයේ ගම්වදින වල් අලි එම වගාව මුළුමනින්ම විනාශයට නතු කරන බවයි.

දිනකට වල් අලි 50ට ආසන්න ප්‍රමාණයක් පැමිණ සිය වගාවන් මෙලෙස දිනෙන් දින පරිහානියට ලක් කරන බවයි ගොවියන් පෙන්වා දෙන්නේ.

එපමණක්ද නොව සවස හයෙන් පසුව ගම්මානය තුල එහෙ මෙහෙ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්, වල් අලි ගම තුළ සැරිසැරීම හේතුවෙන් නුදුරේදීම අලි මිනිස් ගැටුමක් නිර්මාණය වීමේ දැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව කියයි.

රාත්‍රි කාලයේ පැල් රකින ගොවියන් පෙන්වා දෙන්නේ වල් අලි රංචු කිසිදු බියක් සැකයකින් තොරව සිය වගාව වෙත පැමිණ ගොයම් විනාශ කරන බවත්, ඔවුන් පලවා හැරීම සදහා වන ජීවි දෙපාර්තමේන්තුව මගින් අලි වෙඩි කිසිවක් ලබා දී නොමැතිකම නිසාවෙන් අලි පලවා හැරීමේදී උග්‍ර ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවන බවයි.

එළුවන්කුලම තවුසමඩුව ප්‍රදේශයේ ගොවි ජනතාව රජයේ වග කිව යුතු බළධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ දැනට අක්‍රිය තත්ත්වයේ පවතින විදුලි අලි වැට සක්‍රීය කර නොදෙන්නේ නම් රටේ ඉදිරියේදී පැන නැගිය හැකි හාල් අර්බුදයට කිසිදු පිළියමක් මේ තුළින් සිදු නොවන බවත්, මෙලෙස දිනෙන් දින වල් අලි හානිය හේතුවෙන් තමන්ට සිය වගා කටයුතු වලින් ඉවත් වීමට සිදුවන බවයි.

– කේ.ප්‍රියංකර කළුපහන

7,842 views

One Comment to “අලි රංචුවක් මහ කුඹුරු යායක් වනසති…”

  1. මේ ගොවි ජනතාව හැමදාම විදුලි අලි වැටයි, අලි වෙඩියි ඉල්ලල අඬනව. වන ජීවී හරි, කෘෂිකර්මෙ හරි ඇවිල්ල කියල දෙන්න බැරිද වෙන විකල්ප ගැන. උදා; අප්‍රිකානු රටවල, ඉන්දියාවෙ පාවිච්චි කරන ගෙදරම හදා ගන්න මිරිස්/ගම්මිරිස් බෝම්බ. “Chilli peppers have shown to be an effective elephant deterrent in Namibia, as well as other parts of Africa experiencing elephant problems. Either mixed with engine oil on rope barriers around the fields or mixed with dried elephant dung and burned to make “chilli bombs”, the spicy capsicum seems to work as an effective elephant repellent. ”