අලූත් ව්‍යවස්ථාවෙන් අපේ රට අවුරුදු 5-10කින් කලාපයේ දියුණුම රට වෙනවා..

September 27, 2016 at 5:30 pm | lanka C news
අලූත් ව්‍යවස්ථාවෙන් අපේ රට අවුරුදු 5-10කින් කලාපයේ දියුණුම රට වෙනවා..

අදත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දේශපාලන වාසි ගන්න  ජනවාර්ගික ප‍්‍රශ්ණය උපයෝගී කරගන්නවා යයි  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි

ඔහු මෙසේ කියා සිටියේ කරමින් අනුරාධපුර සුචරිතගම මංසන්ධියේදී පැවති උත්සවයට එක් වෙමිනි.

ඔහු එහිදී මෙසේද කියා සිටියේය

‘පසුගිය දවසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියලා තිබුණා අලූත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැහැ කියලා . නමුත්  අලූත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි කියලා පලමුවෙන්ම කිව්වේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමයි. එතුමා අලුත් ව්‍යවස්ථාවක් ගැන කිහිප වතාවක්ම කිව්වා.  13 වන සංශෝධනයට එහා යන විසඳුමක් දෙනව කියලා එතුමා පුන පුනා කිව්වා. යුද්ධය අවසන් වූ පසු අපි පාර්ලිමේන්තුවේ මේ ගැන එතුමාගෙන් ඇහුවා. 13 ට එහා යන විසඳුමක් පාර්ලිමේන්තුව  හරහා දිය යුතු බව හිටපු ජනාධිපතිවරයා එදා ප‍්‍රකාශ කලා. මහින්ද රාජපක්ෂ තමයි පලමුවෙන්ම කිව්වේ ජනවාර්ගික ගැටලූව හා අනෙකුත් ප‍්‍රශ්ණ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා විසඳන්න  ඕන කියලා . වෙන් කවුරුත් නොවේ.නමුත් එතුමාට බැරි වුනා තේරීම් කාරක සභාවක් පත් කරන්න. මොකද පාර්ලිමේන්තුවේ සිටින සියළු දේශපාලන පක්ෂ, එම තේරීම් කාරක සභාව ප‍්‍රතික්ෂේප කලේ එතුමා ගැන විශ්වාසයක් නැති නිසයි . අද පාර්ලිමේන්තුවේ සිටින සියළු පක්ෂ අතිගරු ජනාධිපතිතුමා , ගරු අගමැතිතුමා හා රජය පිළිබඳ දැඩි  විශ්වාසයක් ඇතිවී තිබෙන නිසා මේ මොහොතේදීත් තේරීම් කාරක සභා රැුස්වීම් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා. අද සියළුම පක්ෂ මේ තේරීම් කාරක සභාව නියෝජනය කරනවා. තේරීම් කාරක සභාව හොර රහසේ සාකච්ඡුා කරන දෙයක් නොවේ. අදත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පටු දේශපාලන වාසි ගන්න  ජනවාර්ගික ප‍්‍රශ්ණය උපයෝගී කරගන්නවා.

අද පාර්ලිමේන්තුවේ සිටින සියළුම මන්ත‍්‍රීවරුන්ට ගම්වල අමතක වී තිබෙන මාර්ග හදන්න මිලියන 60 ක ප‍්‍රතිපාදන ලබා දී තිබෙනවා. අද අපේ රටේ සංවර්ධනය වේගවත් වී තිබෙන්නේ ජාතික ආණ්ඩුවක් තිබෙන නිසයි. පක්ෂ භේදයකින් තොරව රටේ පාරවල් වැඩිදියුණු කිරීම සඳහා අපි මුදල් ලබා දෙනවා.

අයි මාර්ග ව්‍යාපෘතිය වෙනසක් නැතිව ඉදිරියට කරගෙන යනවා .  මාර්ග තේරීමේ දී කිසිඳු භේදයකින් තොරව , පළාතේ ප‍්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡ කර ලබා ගත්  අනුමත මාර්ග සංවර්ධනය කරනවා.ජනතාවගේ අවශ්‍යතාවයට ඉල්ලීමට ප‍්‍රමුඛතාවය දෙනවා.

අද ජාතික ආණ්ඩුවක් තිබෙන නිසා මෙලෙස පක්ෂ ,පාට භේදයකින් තොරව සියළු දෙනාට සාධාරණ සේවයක් සලසන්න අවස්ථාව ලැබී තිබෙනවා. අද අපේ රටේ තිබෙන්නේ අළුත් දේශපාලන සංස්කෘතියක්. ඇයි අපි මේ සංස්කෘතිය ආරම්භ කලේ , මෙය ඇමතිකම් බෙදා ගන්න කල දෙයක් නොවේ. නිදහස ලැබූ දා සිට පැවති සෑම ආණ්ඩුවකින්ම  ජනතාව බලාපොරොත්තු වූ සංවර්ධනයක් රටට ලැබුණේ නැහැ. නිදහස ලැබූ දා සිට අපි ආපස්සට ගියා.රටේ පැවති ජනවාර්ගික ගැටළුව කළමණාකරණය කර ගත්තේ නැහැ. මේ ජනවාර්ගික ගැටළුව දඩමීමා කර ගෙන බලය ලබා ගන්න ප‍්‍රධාන පක්ෂ දෙකම කටයුතු කලා. නිදහස ලැබුණ පසු අපේ නායකයෝ මේ ප‍්‍රශ්ණය විසඳුවානම්, තිස් වසරක යුද්ධයකට රට තල්ලූ වෙන්නේ නැහැ. නමුත් බලය ලබා ගැනීම උදෙසා බල අරගල කල නිසා තිස් වසරක යුද්ධයකට රට තල්ලූ  වුනා.

ජනාධිපතිතුමත්, අගමැතිතුමත් රට ගැන සිතා පක්ෂ වශයෙන් නොබෙදී නිදහස ලැබූ දා සිට නොවිසඳුනු ප‍්‍රශ්ණ විසඳීමටයි ජාතික ආණ්ඩුවක් ගොඩ නැගුවේ, අපේ දරුවන්ට මේ ප‍්‍රශ්ණය ඉතිරි නොකර විසඳීම සඳහායි . ජනවාර්ගික ගැටළුවට අලූත් ව්‍යවස්ථාව හරහා විසඳුමක් ලබා දුන්නොත් , අපේ රට වසර 5ක් 10 ක් යන විට මේ කලාපයේ හොඳම ආර්ථිකය තිබෙන රට බවට පත් කර ගන්න හැකි වෙනවා. අපට ඒක කරන්න පුළුවන් මොකද අපේ චේතනාව අවංකයි. අපිට රහසිගත න්‍යාය පත‍්‍ර නැහැ. සියළු දේ විනිවිදභාවයෙන් කරනවා. අපේ රටේ දරුවන්ගේ අනාගතය උදෙසා මේ ජාතික රජය අපි සියළු දෙනා විසින් ආරක්ෂා කර ගත යුතුයි.

– රජිත සමරසූරිය

97 views
Main News