අවම කාන්තා නියෝජනය පනතේ නෑ.. මහරගම නාමයෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ නඩුව අසන අධිකරණයට දේශපාලන අතපෙවීම්..

January 17, 2018 at 6:27 am | lanka C news
අවම කාන්තා නියෝජනය පනතේ නෑ.. මහරගම නාමයෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ නඩුව අසන අධිකරණයට දේශපාලන අතපෙවීම්..

පිවිතුරු හෙළ උරුමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

පළාත් පාලන ආයතන තුල කාන්තාවන්ට 25%ක අවම නියෝජනයක් ලබා දුන්නා කියලා ආණ්ඩුව ලොකු පම්පෝරියක් ගැහුව්වා. ඒ අනුව කොට්ඨාශ ලැයිස්තුවේ 10%ක් සහ අතිරේක ලැයිස්තුවේ 50%ක් කාන්තාවන් සිටිය යුතුයි කියා පනතේ තිබෙන බව තමයි මැතිවරණ කොමිසමත් රටට කිව්වේ. මහියංගනය ප්‍රාදේශීය සභාවට සහ මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කලෙත් අවම කාන්තා නියෝජනය නෑ කියලා. නමුත් අවම කාන්තා නියෝජනය තවම නීති පොතට එකතු වෙලා නෑ කියලා මම ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඇයි මම එහෙම කියන්නේ?

කොට්ඨාශ ලැයිස්තුවේ 10%ක් සහ අතිරේක ලැයිස්තුවේ 50%ක් කාන්තාවන් සිටිය යුතුයි යන විධිවිධානය පළාත්පාලන ඡන්ද විමසීම් ආඥා පනතට එකතු වෙන්නේ 2017 අංක 16 දරණ පළාත්පාලන ඡන්ද විමසීම් (සංශෝධන පනතින්). ඒ පනතේ 8 වගන්තියෙන් ප්‍රධාන ආඥා පනතේ 28 වන වගන්තිය සංශෝධනය කරනවා. පනතේ 8(2) වගන්තිය කියන්නේ මෙහෙමයි.

එම වගන්තියේ (2) වන උපවගන්තියේ “(මෙහි මින් මතු “ස්වාධීන කණ්ඩායම“ ලෙස හඳුන්වනු ලබන) යම් පිලිගත් දේශපාලන පක්ෂයක්“ යන වචන වල සිට “ආකෘතියට සාරානුකූල වූ ආකෘතියකින්“ යන වචන දක්වා ඇති වචන ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන්

නමුත් පනතේ 28(2) උප වගන්තියේ “මෙහි මින් මතු …“ ලෙස ආරම්භ වන වචන සමූහයක් නෑ. ඇත්තෙන්ම 2016 වන තුරු ඒ වචන සමූහය පනතේ තිබුණා. 2016 අංක 1 දරණ පළාත්පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනතින් ඒ පනත සංශෝධනය වුණා. 2016 අංක 1 දරණ පනතේ 3 වන වගන්තියෙන් ඒ කොටස වෙනුවට “යම් පළාත්පාලන ආයතනයක සභිකයින් තෝරා පත් කර ගැනීමේ කාර්ය සඳහා“ යනාදි වෂයෙන් කොටසක් එකතු කරලා තියෙනවා.

කාන්තා නියෝජනය පිළිබඳ විධිවිධානය ගෙනෙන්න කියන්නේ “මෙහි මින් මතු ..“ යනුවෙන් තිබෙන කොටස ඉවත් කරලා ඒ වෙනුවට. ඉතින් එහෙම කොටසක් ඉවත් කරන්න පනතෙ නැතිනම් අළුතින් හඳුන්වා දෙන කොටස හඳුන්වා දෙන්න බැරි වෙනවා. ඒ නිසා අවම කාන්තා නියෝජනය පනතට එකතු වෙලා නීතියක් බවට පත් වෙලා නෑ. මෙවැනි බරපතල වරදක් කොහොමද වුණේ?

රාජ්‍ය භාෂාවන් සිංහල සහ දෙමළ වුණත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පනත් කෙටුම්පත් කරන්නේ ඉංග්‍රිසියෙන්. ඊට පස්සේ සිංහලට සහ දෙමළට පරිවර්තනය කරනවා. පනතේ ඉංග්‍රිසි පිටපතේ ඉතාම නිවැරදිව සංශෝධනය සඳහන් වෙලා තිබෙනවා. සිංහලට පරිවර්තනය කරන විට තමයි වැරැද්ද සිදු වී තිබෙන්නේ. කොහොම නමුත් පිටපත් අතර පරස්පරයක් තිබෙන විට බලාත්මක වන්නේ සිංහල පිටපත මිස ඉංග්‍රිසි පිටපත නොවේ.

අවම කාන්තා නියෝජනය නීති පොතේ නැතිනම් අවම කාන්තා නියෝජනය නෑ කියලා මහරගම නගරසභාව සහ මහියංගනය ප්‍රාදේශිය සභාවල නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි. ඒ පිළිබඳ ඉදිරියේ දී අපි අධිකරණයේ කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා.

මහරගම නගරසභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම පිළිබදව නඩුව උසාවියේ විභාගයට ගැනීමට නියමිතයි. මේ වන විට මට නොනිල ආරංචියක් ලැබුනා ඒ නඩුව අසන්නට සිටින අභියාචනා විනිසුරුවරුන් දෙදෙනාගෙන් එක් අයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරයට පත්කිරීම සඳහා දැනුම්දී ඇති බව. ඒ කතාව ඇත්තනම් මේ ආණ්ඩුව බරපතල ලෙස යුක්තිය ඉටුකිරීමට මැදිහත් වී තිබෙනවා.

ඇයි මහරගම නඩුව අහන දින විනිසුරුවරුන් ජනපති මැදුරට ගේන්නේ. අපි හොදින්ම දන්නවා අභියාචනාධිකරණයේ නඩු ඇසීම සිදු වෙන්නේ උදෑසන 10 සිට දහවල් එක පමණ වෙනකම්. ඔය වේලාව මග හැර විනිසුරුතුමන් ජනපතිමන්ධිරයට කැදවන්න තිබුනා. මහරගම නගරසභාවේ මැතිවරණය කල් තැබීමේ නියෝගයක් නැති නම් අත්සිටුවීමේ නියෝගයක් ගැනීමේ බලාපොරොත්තුවෙනුයි අපි උසාවි ගියේ. නඩුව ගන්නේ නැතිනම් අපිට ඒ අවස්ථාව අහිමි වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මස 22 වෙනිදා සිට තැපැල් ඡන්දයද ආරම්භවෙනවා. ඉන් පසුව නඩුව කල් තැබුව හොත් අර තැපැල් ඡන්ද සදහා රජය දැරූ වියදමද අපරාධයක් බවට පත්වෙනවා. ඉතින් මේ සිදුවීම ඇත්නම් එය දේශපාලන කාරණයක් සදහා අධිකරණ ක්‍රියාවලියට අත පෙවීමක් විදිහටයි අපි දකින්නේ.

– අරවින්ද අතුකෝරල

9 views

2 Comments to “අවම කාන්තා නියෝජනය පනතේ නෑ.. මහරගම නාමයෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ නඩුව අසන අධිකරණයට දේශපාලන අතපෙවීම්..”

  1. Open mind says:

    ඉතින් ඕක උසාවියට කියනවා මිස මාධ්‍ය සාකච්ඡා වලට කීවා කියල ඇති වැඩක් ද ? තීන්දු දෙන්නේ මාධ්‍ය කාරයෝ ද ?

    • Lapaya says:

      මාධ‍‍යට මාධ්‍යට දැම්මම තමයි බන් මහ එකා දැන ගන්නෙ. ඊට පස්සෙ උසාවිය සහ අනිත් උන් දැන ගනියි.

Main News