අවුරුදු සමරන්න නොහැකි වූවා කියා විරෝධතා..

April 16, 2019 at 8:02 am | lanka C news
අවුරුදු සමරන්න නොහැකි වූවා කියා විරෝධතා..

අතුරුදහන්වූවන් ‍සොයාදීමට රජය කටයුතු නොකළ බැවින් අතුරුදහන්වූවන්ගේ පවුල් වෙත මෙවරද නව වසර සැමරීමට නොහැකි වු බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසති.

අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට රජයට බල කරමින් හා අතුරුදහන්වූවන් සොයා නොදීමට එරෙහිව රජයට විරෝධය පළ කරමින් දේව කන්නලව්වක් හා ‍විරෝධතාවයක එක්වෙමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එලෙස පැවසීය.

වව්නියාව කන්දසාමි කෝවිලේ පැවති දේව පූජාවකින් අනතුරුව දෙවියන් උදෙසා පොල්ගසා රජයට විරෝධතාවය පළ කල අතර පසුව වව්නියාව තැපල් කාර්යාලය අසල විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එහිදී පැවසූවේ යුද්ධය නිමාවි වසර දහයක් ගතවි ඇතත් රජය අතුරුදහන්වූවන් ‍මෙතෙක් සොයා නොදී ඇති බවත් අතුරුදහන්වුවන් සොයාදෙන ලෙසට ඉල්ලා තමන් දින 785 ක් විරෝධතාවයේ නිරතව සිටියද රජය හරහා අතුරුදහන් වූවන්ගේ ගැටළුව වෙනුවෙන් නිසි විසදුමක් නොලැබී ඇති බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මැදිහත්වීමක් මත හෝ තමන්ගේ ගැටළුවට විසඳුමක් ලබාදෙන ලෙසට විරෝධතාකරුවන් ඉල්ලා සිටි අතර, විරෝධතාවය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, වව්නියාව සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

83 views
Main News