ආගම්වාදී තක්කඩියකු නිෂ්පාදන සමාගමක් කඩා වැටීමට සලසා සේවකයන් අනාථ කල අයුරු..

March 5, 2018 at 3:27 am | lanka C news
ආගම්වාදී තක්කඩියකු  නිෂ්පාදන සමාගමක් කඩා වැටීමට සලසා සේවකයන් අනාථ කල අයුරු..

මහා පරිමාන වංචාවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉතා බලවත් දේශපාලනඥයන් සමග බෙහෙවින්ම කිට්ටු සම්බන්ධතා ඇති ප්‍රකෝටිපති තරුණ ව්‍යාපාරිකයකුට අයත් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නිෂ්පාදන සමාගමක් මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව වසා දමා ඇති බවට වාර්තා වේ. පාලනාධිකාරිය එය බදු නොගෙවීම නිසා හා මහ බැංකුව විසින් සිය බැංකු ගිණුම් වල කටයුතු සීමා කල නිසා උද්ගත වූ තත්වයක් බවට ප්‍රකාශ කලද ඊට ඉදුරාම වෙනස් කතාවක් එම සමාගම සහ ඊට අදාළ කටයුතු පිළිබඳව සිදු කල ගවේෂනයකදී හෙළි විය.

සෑම මාසයකම විසි පස් වැනි දිනට ගෙවීමට නියමිත එහි සේවකයන්ගේ පෙබරවාරි මස වැටුප පවා මේ වන තුරු ඔවුන්ට ලබා දී නොමැති බවට ද තොරතුරු වාර්තා වන අතර එයට හේතුව වන්නේ වෙනත් කිසිවක් නොව සමාගම විසින් පවත්වාගෙන යන රාජ්‍ය සහ පුද්ගලික බැංකු කිහිපයකම ගිණුම් වල කිසිදු මුදලක් නොමැති වීමය.

වර්ෂ 1960 දී ස්ථාපනය කරන ලද මෙම සමාගම කාලයක් වසා දමා තිබූ අතර, 2011 වසරේ දී එහි වත්මන් හිමිකරු විසින් නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගෙන් එය මිල දී ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්තශාලාව සහ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ස්කාගාරය ද අයත් වන පරිදිය. එතැන් සිට ඉහළ කළමනාකරුවන් කිහිප දෙනෙකු අතට සමාගම පත්කර ඇති මෙම ව්‍යාපාරිකයා 2016 වසර ආරම්භ වන විට රුපියල් බිලියන 14.6ක් වන ඉතා ඉහළ පිරිවැටුමක් අත්පත් කරගෙන තිබූ බවට සමාගම අභ්‍යන්තර තොරතුරු හෙළි කරයි.

නමුත් 2016 වසරේ මුල පටන් මෙම සමාගමේ පරිපාලනය භාර ගනු ලබන වත්මන් ප්‍රධාන විධායක නිලධාරියාගේ පාලනය යටතේ සමාගම විනාශය තෙක්ම ගිය බවට ලියුම්කරු සමග අදහස් දක්වූ සේවකයන්, ඉහළ නිලධාරින්, සමාගම් අධ්‍යක්ෂවරයෙක් සහ සුරාබදු දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේය.

මෙම ප්‍රධාන විධායක නිලධාරීයා පැමිණ මුලින්ම සිදු කර ඇති රාජකාරිය වන්නේ සමාගමේ හිමිකරුට සහ ඔහුගේ පියාට ඉතා හිතවත් අධ්‍යක්ෂවරයෙක්, ඉහළ නිලධාරින් කිහිප දෙනෙක් සහ තමන්ට අවිශ්වාස පහළ කළමනාකරුවකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සමාගමෙන් නෙරපා හැරීමට කටයුතු කිරීමය. ඊළඟට ඔහුගේ දෙවන වැදගත් රාජකාරිය වී ඇත්තේ තමාට හිතවත් පක්ෂපාතී සහ ඥාති සම්බන්ධතා ඇති කිහිප දෙනෙකුම සමාගමේ ප්‍රධාන නිලතල වලට (ඇතැම් අවස්ථාවන්හිදී පුරප්පාඩු නොමැතිව පවා) බඳවා ගැනීමට කටයුතු කිරීමය. ඊට අමතරව ඔහු පෙර රැකියාව කල ස්ථාන වලින් ද මෙම සමාගමට බඳවා ගෙන ඇති ස්ථිර හා කොන්ත්‍රාත් සේවකයන් මෙන්ම උපදේශකයන් ගණන අති විශාලය. ඉතා නිවැරදිව පවසන්නේ නම් ප්‍රධාන විධායක නිලධාරියා මෙම ආයතනය ඔහුගේ රැකියා දන්සලක් ලෙස සලකා කටයුතු කර ඇත. ප්‍රතිපලය වූයේ සමාගමේ වැටුප් සහ වෙනත් දිනපතා වන වියදම හරියටම දෙගුණයකින් ඉහළ යෑම සහ වාර්ෂික අලෙවිය සියයට හැටටත් (60%) වඩා පහළට කඩා වැටීමය. ඒ අනුව සමාගම එතෙක් ආරක්ෂා කර පවත්වාගෙන යමින් සිටී ඔවුන්ගේ වෙළඳපොල කොටස ද සැලකියයුතු මට්ටමකින් අහිමි විය.

ඕනෑම සාර්ථක නිෂ්පාදන සමාගමක මානව සම්පත් හා පිරිස් පාලනය, මූල්‍ය කළමනාකරණය හා නිෂ්පාදන කළමනාකරණය වැනි අංශ  ඉතා දක්ෂ වැදගත් හා ඉහළ වෘත්තිමය හැකියාවන්ගෙන් නිපුන පුද්ගලයන් විසින් මෙහෙයවයි. නමුත් මෙම සමාගමේ ඉහත අංශ තුනම මෙහෙයවනු ලබන්නේ මෙකී සමාගමට පැමිණීමට පෙර මාස ගණනාවක් කිසිදු රැකියාවක් නොමැතිව නිවසේ නිකරුනේ කාලය ගත කරමින් සිටී තිදෙනෙකි. ඊට හේතුව ද ඔවුන් තිදෙනාම පෙර රාජකාරි කල ස්ථාන වලින් එලවා දමා ඇත්තේ අදක්ෂතාව, වංචාව සහ සේවකයන් හා නිලධාරින් සමග විවිධාකාරයේ ගැටුම් ඇති කර ගැනීම නිසා ය.

තතු දත් ආරංචි මාර්ග අනුව ප්‍රධාන විධායක නිලධාරියා සමාගමේ සියළු කටයුතු මෙහෙයවා ඇත්තේ ඉහත තිදෙනාගේ මූලිකත්වයෙනි. සියළු සැපයුම්කරුවන් සහ සමාගමට විවිධ සේවා සපයන්නන් තෝරා ගැනීම ඇතුළු ඔවුන් සමග සියළු ආකාරයේ ගනු දෙනු සිදු කර ඇත්තේ ද මෙකි තිදෙනාගේ සෘජු මැදිහත්වීම හා අධීක්ෂණය යටතේ ය. එයින් බොහොමයක් ගනු දෙනු සිදු කර ඇත්තේ වෙළදපොළ වටිනාකම ඉක්මවා බවට ද පැහැදිලි සාක්ෂි සේවකයන් සතුව ඇත.

තවද මෙම ප්‍රධාන විධායක නිලධාරියා දැඩි ආගම්වාදියකුද වන අතර මෙම සමාගම තනිකරම ඔහු අදහන ආගමේ පිරිස් වලින් පමණක් වන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරන ලෙසට මානව සම්පත් කලමනාකාරිනියට සහ නිෂ්පාදන කලමනාකරුට (කර්මාන්තශාලා කළමනාකරු) විශේෂ උපෙදෙස් ලබා දී ඇති බවටද වාර්තා වේ. මෙම මානව සම්පත් කලමනාකාරිනිය සහ නිෂ්පාදන කලමනාකරු ද සමීප ඥාතීන් වන අතර දෙදෙනාම එකී උපදෙස් ඒ අයුරින්ම පිලිපැද ඇත්තේ සියලු නව බඳවා ගැනීම් ඔවුන් අයත් වන සුළුතර ආගමිකයන්ගෙන් පමණක් වන ලෙසට සිදු කරමින් හා කර්මාන්තශාලාවේ ද වැදගත් පරිපාලන වගකීම් අත්දැකීම් සහිත උපාධිධරයන් කිහිප දෙනෙකුම එහි සිටියද සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් සුළු සේවකයන් හා කම්කරුවන් අතර පවා දැඩි අප්‍රසාදයට ලක්ව ඇති අන්‍යාගමික විධායක නිලධාරින් බව කියන සල්ලාලයන් දෙදෙනෙකු වෙත පවරමිනි. තවදුරටත් මෙම ප්‍රධාන විධායක නිලධාරියා සමාගමේ කිසිදු වැදගත් අවස්ථාවක පිරිත් සජ්ඣායනය කිරීම තහනම් කර තිබූ බවට සේවකයන් පවසයි

මේ අතර මෙම සමාගමේ එතෙක් නොතිබූ ආරක්ෂක කලමනාකාර තනතුරක් නිර්මාණය කල ප්‍රධාන විධායක නිලධාරියා ඊට බඳවාගෙන ඇත්තේ තම මවගේ සහෝදරියකගේ පුත්‍රයෙකි. ඔහු හිටපු හමුදා සෙබළකු වන අතර කලින් සේවය කල ආයතනයක අරක්කැමියකු ද ලෙස සේවය කල අයෙක් බව සේවකයන් පවසයි. ඔහු හරහා මොහු සිදු කර ඇත්තේ කොන්ද පන ඇතිව සහ නිවැරදිව වැඩ කරන නිලධාරින්ට සහ සේවකයන්ට විවිධ තර්ජන සහ හිරිහැර සිදු කිරීමය. එක් අවස්ථාවක මෙම ආරක්ෂක කළමනාකරු කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ස්කාගාරයේ සේවකයකුට ජා-ඇල ප්‍රදේශයේ උත්සව ශාලාවක ආයතනයේ සුළු සේවකයන් වෙනුවෙන් පැවැත්වූ නත්තල් සාදයකදී ඉතා දැඩි ලෙස රෝහල්ගත වන ආකාරයට පහරදුන්නේ මානව සම්පත් කලමනාකාරිනියට ගරු සරු නැතිව කතා කල බවට චෝදනා කරමිනි.

තවද ප්‍රධාන විධායක නිලධාරියාගේ අනු දැනුම ඇතිව මොහු මානව සම්පත් කලමනාකාරිනියට ඇයගේ දියණියකගේ විවාහය ලේඛනගත කිරීමේ උත්සවයක් සඳහා අවශ්‍ය  වූ ඉතා ඉහළ වටිනාකමක් ඇති මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් ආයතනයෙන් සොරකම් කිරීමට ආධාර අනුබල ලබා දී එය විගණන අංශයට හසු වූ අවස්ථාවේදී සියළු සාක්ෂි විනාශ කිරීමට හා නිර්භීතව පරීක්ෂණ කමිටුවට සාක්ෂි දීමට ඉදිරිපත් වූවන්ට මරණීය තර්ජන සිදු කර සියළු පරීක්ෂණ කඩාකප්පල් කිරීමට සහය වූ තැනැත්තා ය.

තවදුරත් මෙම ප්‍රධාන විධායක නිලධාරියා අනුකූලතා හා නියාමන කළමනාකරු ලෙස කිසිදු සුදුසුකමක් සපුරා නොමැති කලක් කුඩා අවන්හලක් පවත්වාගෙන ගිය අයෙකු සේවයට බඳවා ගෙන ඇති අතර ඔහු සේවයට මුලින්ම වාර්තා කල දින පැමිණ ඇත්තේ කුඩා වැගන් R කාර් රථයකින් වන අතර වසරක් ගත වීමටත් මත්තෙන් එම තැනැත්තා රාගම ප්‍රදේශයේ දෙමහල් නිවසක සහ සුපිරි X-Trail රථයක හිමිකරුවකු වූ බව සේවකයන් පවසන්නේ නළල රැළිගන්වමිනි. වාර්තා වන ආකාරයට ප්‍රධාන විධායක නිලධාරියා විසින් ආයතනයේ කටයුතු හා සම්බන්ධ විවිධ ආයතන හා පුද්ගලයන්ට නොයෙක් ආකාරයේ ත්‍යාග හා සන්තෝසම් දෙන බවට හිමිකරුට පවසමින් එකී සියළු ක්‍රියා සිදු කර ඇත්තේ මොහු හරහා ය.

කලක් ගත වන විට මෙකි ප්‍රධාන විධායක නිලධාරියාගේ හා ඔහුගේ සමීපතමයන්ගේ සියළු ක්‍රියා අවබෝධ කරගන්නා සමාගම් හිමිකරු කොළඹ පිහිටි ඔහුගේ ව්‍යාපාර සමූහයේ බලවත් අධ්‍යක්ෂවරයෙකු ඇතුළු කණ්ඩායමක් මෙම සමාගමේ කටයුතු විමර්ශනය කිරීම සඳහා සහ නැවතත් සමාගම නිසි මාර්ගයට ගැනීමෙහිලා යොමු කරයි. ඊට අමතරව මෙහි හිමිකරු රිමාන්ඩ් බන්ධනාගාරගත වන තුරුම ආයතනයේ කටයුතු පුද්ගලිකවම අධීක්ෂණය කිරීමට සඳහා දිනපතා සමාගමේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කලේ ය. එසේම දකුණු පළාතේ දේශපාලනයට සම්බන්ධ දේවාලයක් පවත්වාගෙන යන ප්‍රසිද්ධ කපුවකු ආයතන භූමියට ඉතා රහසිගතව රාත්‍රී කාලයේ කැඳවාගෙනවිත් ආරක්ෂක නිලධාරින් පවා පිටතට යවා යාග හෝම කිහිපයක් ද සිදු කලමුත් ඒ අවස්ථාව වන විට ද මෙම සමාගම නැවත ගොඩ නැගීමට නොහැකි වන ලෙසට ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු ඔහුගේ කණ්ඩායම විනාශ කර දමා හමාරය.

තත්වය එසේ වුවද ප්‍රධාන විධායක නිලධාරියා, මානව සම්පත් කළමනාකාරිනිය සහ නිෂ්පාදන (කර්මාන්ත ශාලා) කළමනාකරු සේවකයන් සිය වැටුප් පිළිබඳව විමසීමේ දී සේවකයන්ට පවසා සිටින්නේ සහමුලින්ම අසත්‍යකි. එනම්, කිසිදු නිෂ්පාදනයක් නොමැතිව පවා මාස 3ක වුවද වැටුප් ගෙවීමට තරම් ප්‍රධාන විධායක නිලධාරියාගේ නායකත්වය යටතේ සමාගම ශක්තිමත් වුවත් මහ බැංකුවේ සීමා කිරීම තුල තමන්ට කල හැකි කිසිදු දෙයක් නොමැති බවයි. නමුත් අප වෙත වාර්තා වන පරිදි සමාගමේ කිසිදු බැංකු ගිණුමක තඹ සතයක් හෝ නොමැති අතර බැංකු ණය සහ බැංකු අයිරා සඳහා බිලියන ගණනින් ගෙවීමට ඇති තත්වයකදී  සහ සිය සැපයුම්කරුවන්ට ද බිලියන ගණනින් ගෙවීමට ඇති මුදල් පසුගිය වසර මුළුල්ලේම නොගෙවා පැහැර හැර ඇති බවටයි.

අවසාන වශයෙන් ලියුම්කරු සමග අදහස් දැක්වූ සේවකයන් රැසක් පවසා සිටියේ මානව සම්පත් කළමනාකාරිනිය තමන්ට උපදෙස් ලබා දෙන පරිදි කෙම්මුර දවස් වලට බුදුන් වැඩි බිමේ සිද්ධස්ථානයකදී බෝධි පූජා පැවැත්වීමෙන් පමණක් ම තමන්ට සරණක් හිමි වන්නේ නැති බවත් ආයතනය පවත්වාගෙන යාමට අපොහොසත් වන්නේ නම් තමන්ට සාධාරණ වන්දි මුදලක් හෝ ලබා දීමට කටයුතු සිදු කල යුතු බවත්ය. නොඑසේ නම් තමන් මේ පිළිබඳව කම්කරු දෙපාර්තුමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු සිදු කරන බවටත්ය. එසේම ඔවුන් වැඩිදුරටත් ඔවුන් පවසා සිටියේ සුරබි දෙනක බදු ව්‍යාපාරයක් නායකත්වය සහ ඔහුගේ හෙන්චයියන්ගේ වංචාව, දූෂණය සහ අකාර්යක්ෂම පාලනය නිසා කඩා වැටී සිය ගණනක් සේවකයන් සහ දහස් ගණනක් වන යැපෙන්නන් අනාථ වීම විදහා දැක්වීම සඳහා මෙම ආයතනය ඉතා හොඳ සිද්ධි අධ්‍යනයක් (Case Study) බවයි.

– මිගාර

42 views

2 Comments to “ආගම්වාදී තක්කඩියකු නිෂ්පාදන සමාගමක් කඩා වැටීමට සලසා සේවකයන් අනාථ කල අයුරු..”

  1. Gtx says:

    Panna neda kuruse…

  2. Soripaal says:

    Habai Mecharakal mewwa Peepu Eunnam Aaagam Wadiyo Newei Onna ..

Main News