ආණ්ඩුවට අවුරුදු දෙකහමාරයි.. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පහයි.. (මාස හයකට එක බැගින්)

September 8, 2017 at 3:50 pm | lanka C news
ආණ්ඩුවට අවුරුදු දෙකහමාරයි.. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පහයි.. (මාස හයකට එක බැගින්)

පිවිතුරු හෙල උරැමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

මට ආරාධනා පත්‍රයක් ලැබුනා එන්න කියලා. කවුද මේ එන්න කියන්නේ. ජනපතිතුමයි අගමැතිතුමයි තමයි මේ එන්න කියන්නේ. මොකටද මේ එන්න කියන්නේ. එන්න අපි හදමු පොහොසත් රටක් කියලා, පොහොසත් රටක් හදන්න තමයි එන්න කියන්නේ. ජනපතිතුමන් සහ අගමැතිතුමන් එක් වී පොහොසත් රටක් හදන දැක්ම ඉදිරිපත් කරනවාලු. ආණ්ඩුව බිහි වෙලා වසර දෙකහාමාරකටත් වඩා ගෙවුණාට පස්සේ පොහොසත් රටක් හදන දැක්ම ඉදිරිපත් කරනවා කියන්නේ ආණ්ඩුව පිළිගන්නවා මෙතරම් කලක් ආණ්ඩුවට දැක්මක් තිබ්බෙ නෑ කියන එක. එහෙමත් නැත්නම් මෙතෙක් කල් කරගෙන ගිය වැඩපිළිවෙල අසාර්ථකයි ප්‍රායෝගිකත්වයෙන් තොරයි කියලා.

2015 ජනවාරි මාසයේ “මෛත්‍රි පාලනයක් – ස්ථාවර රටක්“. කියන ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. 2015 අගෝස්තු මාසයේ “මාස හැටෙන් අළුත් රටක්“ කියන ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ඊට පස්සේ අගමැතිතුමා දෙපාරක් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කළා. මේ ප්‍රකාශන හතරම ක්‍රියාත්මක නොකර දැන් ඔන්න අද අළුත් එකක් ඉදිරිපත් කරනවා . මෙහෙම නිරන්තරව ඉදිරිපත්කරන ප්‍රතිපත්ති ප්‍රකාශන නිසා විහිළුවට ලක්වෙන්නේ ආණ්ඩුවම තමයි. ඒනිසා අපි ආණ්ඩුවට කියන්නේ අළුත් කතා කියන්න කලින් පරණ කතා මහ පොලවේ ක්‍රියාත්මක කරන්න. එතකොට තමයි ඔය කියන කතා ඥාණ කතා වගේ වැඩකට ඇති කතා වෙන්නේ.

මගේ මිත්‍රයෙක් පුස්තකාලයකට ගිහින් “මෛත්‍රි පාලනයක් – ස්ථාවර රටක්“ සහ “මාස හැටෙන් අළුත් රටක්“ කියන ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක හොයලා හොයලා හොයා ගන්න බැරි වුණාම පුස්තකාල නිළධාරියෙකුගෙන් ඇහුව්වාලු පොත් දෙක කොහෙද තිබෙන්නේ කියලා. එතකොට නිළධාරියා කිව්වාලු ඒ දෙක නම් අනිවාර්යෙන් තිබෙන්න ඕනෑ සුරංගනා කතා තිබෙන රාක්ක වලයි කියලා. අතිගරු ජනපතිතුමනි, ගරු අගමැතිතුමනි, අද නිකුත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය තවත් සුරංගනා කතාවක් නොවේවා කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

– අරවින්ද අතුකෝරල

107 views