ආණ්ඩුවට තුනෙන් දෙකක් ලැබෙන බව එජාපය කියයි…

May 27, 2020 at 3:50 pm | lanka C news
ආණ්ඩුවට තුනෙන් දෙකක් ලැබෙන බව එජාපය කියයි…

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ආණ්ඩුවට තුනෙන් දෙකක් ලැබෙන බව එජාපය කියයි

ආණ්ඩුව ඉක්මනින් මැතිවරණය පවත්වන්න වෙර දරන්නේ මැති සබේ තුනෙන් දෙකේ බලයක් ලබා ගන්න කියා එජාපයේ හිටපු ඇමති පී හැරිසන් මැතිතුමා කියනවා. මේක මේ එතුමා විතරක් නොවේ එජාපයේ හැමෝම කියන කතාවක්. මොකද්ද මේ නොකියා කියන්නේ? මැතිවරණය පැවැත්තුවොත් පොදු පෙරමුණට තුනෙන් දෙකේ බලයක් ලැබෙන බව නේද? සමානුපාතික ක්‍රමය හඳුන්වා දුන් දවසේ සිට මේ දක්වා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් හෙවත් මන්ත්‍රි ධූර 150ක් ලබා ගන්න කිසිම පක්ෂයක් සමත් වුණේ නෑ. නමුත් ඉදිරි මැතිවරණයේ දී පොදු පෙරමුණට තුනෙන් දෙකේ බලයක් ලැබෙන බව කියන්නේ අපි නොවේ. අපට හතුරු එජාපයයි.

19 වන සංශෝධනයේ එකම එක හොඳක් තිබේ

අපි හැමදාමත් කර්කශ ලෙස විවේචනය කළ 19 වන සංශෝධනයේ එකම එක හොඳක් දකින්න මට අවසරයි. ඒ තමයි ජනපති ධූර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු කිරීම. එහෙම නොකලා නම් 2020 නොවැම්බර් වන තුරු රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැතිතුමා. එහෙම නම් කොරෝනා රෝගය ලංකාවට ඇවිත් කියන එක මම දැන ගත්තෙත් පත්තරෙන් කියා ජනාධිපති කියාවි. ජනාධිපති මට කරන්න දෙන්නේ නෑ කියා අගමැති කියාවි. සෞඛ්‍ය ඇමති වෛද්‍යවරු සහ හෙදියන් සමග රණ්ඩු වෙමින් සිටිවි. මට බලතල නෑ කියා හමුදාපති කියාවි. අවසානයේ දී කොරෝනා රෝගින් සහ මරණ ගණනින් ලංකාව ඇමෙරිකාවත් පරාජය කරාවි.

ජනපතිගේ ධූර කාලය වසරකින් අඩු කිරීමෙන් ජනාධිපතිවරු දෙදෙනෙකු අමාරුවේ වැටුණා. තමන්ට වසරක් කලින් ජනපති ධූරයෙන් සමු ගැනීමට සිදු වීමෙන් සිරිසේන ජනාධිපතිතුමා අමාරුවේ වැටුණා. ලෝකයේ වැඩිම කොරෝනා මරණ සිදුවුණු රට ලංකාව වීමට තිබුණු අවස්ථාව අහිමි වී ඒක තමන්ගේ හිස මත කඩා වැටීමෙන් ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමාරුවේ වැටුණා.

එජාප කියන්නේ කවදාවත් මැතිවරණ පවත්වන්න එපා කියලා ද?

එජාපයේත් ජවිපෙත් නායකයින් කියන්නේ කොරෝනා වසංගතය අවසන් වන තුරු මැතිවරණ නොපැවැත්විය යුතු බවයි. ඒ් අතරේ කොරෝනා වසංගතය කිසිම දිනක සම්පුර්ණයෙන්ම අවසන් නොවීමේ අවදානමක් තිබෙන නිසා කොරෝනා සමග සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීමට උගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. කොරෝනා කවදාවත් අවසන් වෙන්නේ නැතිනම් කොරෝනා අවසන් වන තුරු මැතිවරණ නොපැවැත්විය යුතු බවට එජාපය හා ජවිපය කියනවා කියන්නේ කවදාවත් මැතිවරණය පවත්වන්න එපා කියන එක ද කියා අපි එජාපයෙන් ප්‍රශ්න කරනවා.

ප්‍රශ්නය : අද වන විට රටේම ඇඳිරි නීතිය ඉවත් කර තිබෙනවා. මේ තත්ත්වයට රට ගෙන ඒමට හැකියාව ලැබීම ගැන ඔබතුමා මොකද කියන්නේ.

පිළිතුර : ශ්‍රී ලංකාව කොරෝනා මර්ධනයේදී විශිෂ්ටම රටක් බවට පත්වීම සඳහා අපේ සෞඛ්‍ය සේවාවන් ආරක්ෂක සේවාවන් බුද්ධි අංශ කටයුතු කළ ආකාරය වගේම ජනාධිපතිතුමන් හා අගමැතිතුමා ලබා දුන්න විශිෂ්ට නායකත්වයක් හේතු වුණා. එමෙන්ම මෙතනදි අමතක කරන්න නරකයි අපේ රටේ ජනතාවගෙන් ලැබුණු දායකත්වය. ආණ්ඩුවට යම් යම් දේ කරන්න කියලා කියන්න පුළුවන් මේ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා. නමුත් ජනතාව විදිහට එය පිළිපැද්දේ නැති නම් අපට මේ ජයග්‍රහණය ලබා ගන්නට බැරි වෙන්න තිබුණා. ඒ නිසා මේක සමස්ත ජාතියක් විදිහට එක මිටියට එකට ඉදලා ලබාගත් ජයග්‍රහණයක්. රටේ සෑම පුරවැසියෙක්ම මේ සඳහා දායකත්වය ලබා දුන්න නිසා මේ රටේ ජනතාවට ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. එහිදී ශ්‍රී ලංකාව භාවිතා කළ ක්‍රමවේදය ඉතාම වැදගත්. මෙම ක්‍රමවේදය තමයි වියට්නාමයේ ද භාවිතා වුනේ. වියට්නාමයේ උපාය වුනේ වෛරසයට කලින් රෝගී විය හැකි පුද්ගලයන් හඹා යෑමයි. බටහිර රටවල් කළේ පරීක්ෂණ පුළුල් කිරීමයි. ඒ ක්‍රමය අසාර්ථකයි. චීනය විසින් සිදුකරපු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ ක්‍රමවේදය ද සාර්ථකයි. නමුත් අප මෙහිදී භාවිතා කරේ කිසිදු මරණයක් සිදු නොවුණු වියට්නාමයේ භාවිතා කළ ක්‍රමයයි. මනා විද්‍යානුකූල අධ්‍යනයක් කරලා අප විසින් වියට්නාම ක්‍රමය තෝරා ගත් නිසා තමයි අපට මේ ජයග්‍රහණය ලබා ගන්නට හැකි වෙලා තිබෙන්නේ. විකල්ප අතරින් රටට ගැලපෙන හොඳම විකල්පය තෝරා ගැනීමට තීක්ෂණ බුද්ධියක් ජනාධිපති තුමන්ට පැවතීමත් එතුමා විසින් ගත්ත ඒ ක්ෂණික තීන්දුත් එම තීන්දු ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක බලධාරීන් කටයුතු කිරීමත් මේ ජයග්‍රහණයේ රහස විදිහට අපට හඳුනාගන්නට පුළුවන්.

ප්‍රශ්නය : සහල් මාෆියාව ගැන විපක්ෂය චෝදනා කරනවා. ඒ වගේම සහල් මෝල් හිමියන් ගැනත් කතිකාවක් මතුවී තිබෙනවා. ඔබතුමා මේ ප්‍රශ්නය දකින්නේ කොහොමද ?

පිළිතුර : බත් තමයි මේ රටේ ජනතාවගේ ප්‍රධානම ආහාරය. කවුරු හරි සහල් සමග සෙල්ලම් කරන්න හදනවා කියන්නේ මේ රටේ ජනතාවගේ බඩගින්නත් සමග සෙල්ලම් කරන්නට හදනවා කියන එකයි. ඒ අයට ජනතාව පාඩම් උගන්වන්නට ඉඩ තියෙනවා. අමතක කරන්නට එපා ඔවුන්ගේ සහල් අපට වශ්‍යයි වගේම ඒ අයගේ සහල් විතරක්ම නෙවෙයි අපට අහාරයට ගන්න තියෙන්නෙ. මේ වෙලාවේ මානූෂීයව කටයුතු කරන්න සහල් මෝල් හිමියන් සූදානම් නැත්නම් ඒ සහල් වර්ගය වර්ජනය කරන්න ජනතාව තීරණය කලොත් මෝල් හිමියන්ට මොකද වෙන්නේ. මෝල් හිමියන්ගෙන් බැලුම් බෝලයේ නිකංම හුලං බහිනවා. ඒ නිසා මෝල් හිමියන් නිසා ජනතාව කනවා නෙමෙයි. ජනතාව නිසා මෝල් හිමියන් කාලා සුර සැප විදිනවා කියන එක ඒ අය සිහි තබා ගත යුතුයි. සහල් මෝල් මාෆියාව තිබුණේ පසුගිය ආණ්ඩුව සමයේ. අද එහෙම දෙයක් නැහැ. අද සතොස වී මිලදී ගන්නවා. වී අලෙවි මණ්ඩලය අදාල කටයුතු කරනවා. ඒ ඔක්කොටම වඩා අද හමුදාව මැදිහත් වී තොග කළමනාකරණය ද සිදු කරනවා. ඒ නිසා සහල් වෙළෙඳපොළේ සහල් හිඟයක් මවා පාලා මෝල් හිමියන්ට සහල් මිල වැඩි කිරීමේ අවස්ථාව දැන් අහිමි කරලයි තියෙන්නේ. නිසා තමන්ගේ ආණ්ඩුවේ මට්ටමින් මේ ආණ්ඩුව මනින්න එපා කියලා අපි විපක්ෂයේ අයට කියනවා.

– අරවින් අතුකෝරල

443 views
Main News