ආණ්ඩුවට මැ.කො.ගෙන් තවත් පොල්ලක්.. වැඩසටහනක් අත්හිටුවයි..

July 30, 2020 at 3:50 pm | lanka C news
ආණ්ඩුවට මැ.කො.ගෙන් තවත් පොල්ලක්.. වැඩසටහනක් අත්හිටුවයි..

කොවිඩ් 19 පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට සහ සංචාරක රියදුරන්ට දීමනාවක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට මැතිවරණ කොමිසම සිමා පණවයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ  මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි සංචාරක මාර්ගෝපදේශකයන්ට හා සංචාරක රියදුරන්ට එම දීමනාවෙන් රුපියල් 10,000 ක දීමනාවක් පමණක් මුලින් ගෙවීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා උපදෙස්  දි ඇති බවයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අකර්මර්ණ්‍ය වී ඇති සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සදහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් පරිදි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පහුගිය මැයි 29 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් සදහා පිළිවෙලින් රුපියල් 20,000 ක හා 15,000 ක දීමනාවක් එක්වරක් පමණත් ගෙවිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය. කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  2020/07/19 දිනැති ලිපිය මගින් මෙම රුපියල් 20,000 හා 15,000 දීමනාව ගෙවීම අත්හිටුවා රුපියල් 10,000 ක මුදලක් පමණක් දැනට ලබා දීමට කටයුතු කරන්න යැයි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. එමගින් ඔහු අවධාරණය කරන්නේ තවත් අමතර මුදලක් ගෙවිය යුතු නම් එම මුදල අගෝස්තු මස 10 වෙනිදායින් පසුව ගෙවීම සුදුසු බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ රජය පොරොන්දු වූ රුපියල් 20,000 හා රුපියල් 15,000 දිමනාව අනිවාර්යෙන් ම ගෙවීමට කටයුතු කරන බවයි. මැතිවරණ කොමසාරිස්වරයා අනුමත කර ඇති රුපියල් 10,000 දීමනාව ගෙවීමට වහා කටයුතු කරන ලෙස තමා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දුන් බවද ඔහු සදහන් කරයි. එහි ඉතිරි මුදල අගෝස්තු 10 වෙනිදායින් පසුව අදාළ සංචාරක මාර්ගෝපදේශකයන්ට හා සංචාරක රියදුරන්ට ලබාදීමට කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා සදහන් කරයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය ලබාදීමට කටයුතු කළ සහන පැකේජයෙන් සංචාරක කර්මාන්තයේ නියුතු 144,000 කට ආසන්න පිරිසකට සහන ලැබීමට නියමිතය.  සංචාරක සංවර්ධන අධිකාරිය එම අධිකාරිය ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් සහ රියදුරන් 10,000කට රුපියල් 20,000 හා 15,000 ලබා දීමට සියළු කටයුතු යොදා තිබුණි. මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් ලැබුණේ එම කටයුතු ක්‍රියාත්මක කරමින් සිටිය දී බව ඇමතිවරයා කියයි.

කෙසේ වෙතත් සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති නවාතැන් සපයන්නන් හා ගමනාන්ත කළමණාකරණ සේවකයන්ට මසකට රුපියල් 20,000 ක් දක්වා මාස 06 ක වැටුප් ගෙවීම සදහා 4% ක සහන පොළි අනුපාතිකයකට රජයේ පශ්චාත් කොවිඩ් 19 සහන අයවැය යටතේ ලංකා බැංකුව හරහා ණය පහසුකම් ලබාදිමට කටයුතු යොදා තිබේ. මිට අදාළ සියලු තොරතුරු මේ වන විට ලංකා පැංකුවට යොමු කර ඇතැයි ඇමතිවරයා කියයි. සංචාරක කර්මාන්තය සදහා ලීසිං පහසුකම් යටතේ වාහන මිල දී ගෙන ඇති අයට වාරික ගෙවිමට ලබා දි ඇති සහන කාලය වසරකින් දීර්ඝ කෙරිණි. ඒ සදහා දඩ පොළි අය නොකරේ. මිට අදාළ චක්‍ර ලේඛය පහුගිය ජූලි 16 වෙනිදා නිකුත් කර තිබේ. 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තු 31 වෙනිදා දක්වා කාල සීමාව තුළ අධිකාරියේ ලියාපදිංචි නවාතැන් සපයන්නන්ගෙන් අය විය යුතු මුදල් පියවීම සදහා මාස 12 ක් වාරික සැලැස්මක් ලබා දීමට විදුලි බල මණ්ඩලයට හා ජාතික  ජල සම්පාදන, ජල ප්‍රවාහන මණ්ඩලයට උපදෙස් ලබා දි තිබේ. මීට අමතරව ලියාපදිංචි සංචාරක සේවා සපයන ආයතන හා සංචාරක මගපෙන්වන්න් සදහා ලියාපදිංචිය යාවත්කාලීන කිරිමේ දී කිසිදු අය කිරිමකින් තොරව වසරක කාලයක් සදහා බලපත්‍ර අලුත් කිරීමට අවස්ථාව සලසා දි ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

රජය මේ සියලු කටයුතු සිදු කරන්නේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිදවැටුණු සංචාරක කර්මාන්තය නංවාලීම සදහා බව අවධාරණය කරන ඇමති ප්‍රසන්න රණතුංග මහතා කුමන බාධක පැමිණියත් එය ඉටු කරන බවට ද සහතික වෙයි.

– ප්‍රදීප් අනුර කුමාර

3,384 views
Main News