ආණ්ඩුවේ නියෝජිතයෝ පෝලිමේ.. වරදාන, වරප්‍රසාද දී මල්වතු-අස්ගිරි නාහිමිවරුන් දිනා ගන්න හදයි..

October 21, 2017 at 12:18 am | lanka C news
ආණ්ඩුවේ නියෝජිතයෝ පෝලිමේ.. වරදාන, වරප්‍රසාද දී මල්වතු-අස්ගිරි නාහිමිවරුන් දිනා ගන්න හදයි..

‘රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජය’ හෙවත් ‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ ගැඹුරින් අධ්‍යයනය කර බලා, මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුමැතියෙන් එම උභය විහාරයීය කාරක සංඝ සභා එම අතුරු වාර්තාව අනුව සැකසෙන ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධන අනවශ්‍ය බවට’ ඒකමතිකව ගත් තීන්දුව මේ රටේ භික්‍ෂු සම්ප්‍රදාය, බෞද්ධ සම්ප්‍රදාය හා මහා විහාරයීය සම්ප්‍රදාය නොදත් රනිල් වික්‍රමසිංහගේ ‘ඇන්ග්ලෝ සැක්ෂන්’ මොළයට නොතේරීම පුදුමයට කරුණක් නොවන බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ මහතා එසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ජනතාවට කොලේ වහලා ‘තවම අකුරක්වත් ලියලා නැහැ’ කියමින් මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් ෆෙඩරල්, අනාගමික රාජ්‍යයක් බිහි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හැදුවා. ඒ කෙටුම්පත වචන හරඹ කරලා, සැබෑ උවමනාව නොපෙනෙන ලෙස ‘ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ නමින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම අතුරු වාර්තා කෙටුම්පත ගැඹුරින් අධ්‍යයනය කරලා, ඊට දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය ආදී පක්‍ෂ ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකාව එක්සත්, අනාගමික රාජ්‍යයක් විය යුතු බවට වූ යෝජනා ද සැලකිල්ලට ගෙනයි මල්වතු – අස්ගිරි මහා විහාරයීය කාරක සංඝ සභා දෙක උභය විහාරයීය මහානාහිමිවරුන්ගේ අනුමැතියෙන් මේ නව ව්‍යවස්ථා සම්පාදන කටයුතු නතර කළ යුතු බවට තීන්දු කළේ. බෞද්ධයාගේ මුදුන්මල්කඩ වූ දළදා මාලිගාවට වැඩම කළ, එහි පැවිදි භාරකාරත්වය දරන මේ නායක හිමිවරු මේ ගත්තු තීන්දුව උත්තරීතර තීන්දුවක්. ඒ බව මේ රටේ භික්‍ෂු සම්ප්‍රදාය, මහා විහාර සම්ප්‍රදාය හා බෞද්ධ සම්ප්‍රදාය දන්නා සැබෑ බෞද්ධයන්ට හොඳින් වටහාගත හැකියි. ‘මල්වතු නායක රටේ හිටියෙත් නෑ. මාධ්‍ය කියන්නේ බොරු’ යනුවෙන් කියමින් මේ උත්තරීතර තීන්දුව හෑල්ලුවට ලක් කරමින්, ‘භූමිතෙල් ගෑවුණු ගැරඩියකු’ වගේ රනිල් වික්‍රමසිංහ මාධ්‍ය ඉදිරියේ දැඟලුවේ එයාගේ අන්ග්ලෝ සැක්ෂන් මනසට මේ රටේ භික්‍ෂු සම්ප්‍රදාය, බෞද්ධ සම්ප්‍රදාය වගේම මහා විහාරයීය සම්ප්‍රදාය නොතේරෙන නිසයි.

‘මහ සඟරුවනේ උජුපටිපන්න ගුණයට ජාතියේ නමස්කාරය!’

මීට ඉහතදීත් ත්‍රෛනිකායික මහා සඟරුවන නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධන මේ රටට, මේ මොහොතේ අවශ්‍ය නැති බව ප්‍රකාශ කළාම, මේ ආණ්ඩුව කීවේ ‘අකුරක්වත් ලියලා නැති ව්‍යවස්ථාවක් ගැන ජාතිවාදී පිරිස් බොරු කතා කියනවා’ කියලයි. දැන් නව ව්‍යවස්ථාවකට අදාළ මූලික ලියවිල්ල බෙදුම්වාදී, ජාතිවාදී පක්‍ෂවල යෝජනා සමඟ ‘ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ නමින් රට හමුවට ඇවිත් තිබෙනවා. ඒ නිසා මෙවර මල්වතු – අස්ගිරි කාරක සංඝ සභා දෙක මේ ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගත් තීන්දුව ආපස්සට ගන්න එකක් නොවෙයි. එය කොටි පරදන සටනේදී අපේ ආරක්‍ෂක හමුදාවන් මාවිල්ආරු සටනට මුහුණ දීමට ගත්තු තීන්දුව හා සමාන අවස්ථාවක්. එදා අපේ ආරක්‍ෂක හමුදා මාවිල්ආරු සටන ජය අරන් නන්දිකඩාල් කලපුව අසල සටන දක්වා ඉදිරියට ඇවිත් අවි බලයෙන් බෙදුම්වාදී යුද්ධය ජය ගත්තා. අද දෙමළ ජාතිවාදී බෙදුම්වාදය නිරවි යුද්ධයකින් ඊළම දිනන්න හදනවා. ඒකටයි මේ බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙන එන්නේ. ඊට එරෙහි නිරවි යුද්ධයට අපේ නායක හිමිවරු දැන් නායකත්වය දෙනවා. ඒ නිසා සියලු රටට හිතැති පිරිස්, සැබෑ සංහිඳියාව අගයන පිරිස් මේ නිරවි සටනට සහාය දිය යුතුයි.

කල් තියාම අස්ගිරි කාරක සංඝ සභාව මේ අතුරු වාර්තා කෙටුම්පත ඇතුළු ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන කටයුතු නතර කරන ලෙස නිවේදනය කළ පසු මේ ආණ්ඩුවේ කිරිඇල්ල වැනි ඇමතිවරු, ජයම්පති වික්‍රමරත්නලා වැනි මේ ව්‍යවස්ථා අපරාධයේ කොටස්කරුවෝ වැල නොකැඩි මල්වතු මහනාහිමි ඇතුළු කාරක සංඝ සභාවේ නායක හිමිවරු හමු වෙන්න ආවා. වරදාන, වරප්‍රසාද, තුඩු පඬුරුවලින් උන්වහන්සේලා දිනා ගත හැකි යැයි සිතුවා. ඔවුන්ගේ ඒ සියලු උත්සාහයන් පරදවමින් තමයි, මේ උභය විහාරයීය කාරක සංඝ සභා වෙතින් මේ ‘රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජයට’ එරෙහි උත්තරීතර තීන්දුව ප්‍රකාශයට පත් වූයේ. දේශයේ මුරදේවතාවන් ලෙස තමන් සතු භූමිකාවට මේ ඉතාමත් තීරණාත්මක මොහොතේදී පණ පොවන මහසඟරුවනේ උජුපටිපන්න ගුණයට අපගේ ගෞරව පූර්වක නමස්කාරය පුද කර සිටිනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

160 views

2 Comments to “ආණ්ඩුවේ නියෝජිතයෝ පෝලිමේ.. වරදාන, වරප්‍රසාද දී මල්වතු-අස්ගිරි නාහිමිවරුන් දිනා ගන්න හදයි..”

  1. asaranaya says:

    අපේ හාමුදුරුවන් වහන්සේලාට ජයෙන් ජය මල් පිපේවා. ඔය කුහක පාහරයන් ඔබ හමුවට නැවත ආවොත් පන්සලෙ ඉලපතින් පහරදී එලවන්න අමතක කරන්න එපා ස්වාමිනී,
    දැන් නම් ඉවසුවා ඇති මරාගෙන මැරෙන්න හිතෙනවා

  2. ගමය says:

    ගරුතර ස්වාමීන් වහන්සේ ලාට මහජනතාව සමග පාරට බැහැල තමා මේ රට විනාශ කාරී හන්ස සහ පොන්ස පාලකයන් එලවන්න වෙන්නේ. මොකද ප්‍රජාතන්ත්‍රවාදී අවම ලකුණ වුන චන්ද අයිතිත් මුන් උදුරා ගෙන ඇතිනිසා.

Main News