ආණ්ඩුවේ පනත ආණ්ඩුවම පැරැද්දුවේ රනිල්-මෛත‍්‍රී රහස් හමුවකින්..

August 25, 2018 at 10:00 am | lanka C news
ආණ්ඩුවේ පනත ආණ්ඩුවම පැරැද්දුවේ රනිල්-මෛත‍්‍රී රහස් හමුවකින්..

යහපාලන ආණ්ඩුවේ එකඟතාවන්වලට එරෙහිව යමින් පළමු වතාවට ආණ්ඩුවේ හවුල්කාර ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලන මතයන් එළිපිට ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ නව පෙරමුණක් ලෙස සංවිධානය වීමට පසුගිය බ්‍රහස්පතින්දා තීන්දු කර ඇත.

මෙම තීන්දුවත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවදුරටත් යහපාලන ආණ්ඩුව සමග ඉදිරියට යෑම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පෙරමුණ දැනට ලියාපදිංචි පක්ෂයක් යටතේ සංවිධානය කිරීම සම්බන්ධව සොයා බැලීමට අගමැතිවරයා විසින් දැනටමත් රාජිත සේනාරත්න හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ට පවරා ඇත.

ඒ අනුව අදාළ තීරණයන් සම්බන්ධව පසුගිය බ්‍රහස්පතින්දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපෙ නායකයින් කණ්ඩායමක් ජනාධිපති හමුවී දැනුම් දී ඇත.

එහිදී පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේ පැවැත්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කර තිබේ.

එම හමුවේදී පළාත් සභා නීර්ණ වාර්තාවට එජාප දක්වන විරෝධය පිළිබඳව අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අදාළ වාර්තාවට පසුගිය සිකුරාදා දින පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කරන ලද්දේ මෙම රහසිගත හමුවේදී ගත් තීරණයන්ට අනුව බව එජාපයේ අමාත්‍යවරයකු සඳහන් කළේය.

සීමා නීර්ණ වාර්තාව සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සීමා නිර්ණ කමිටුව වාර්තාව ප්‍රතික්ෂේප කරමින් සිකුරාදා (24) පාර්ලිමේන්තුවේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ඒ අයුරිනි.

එහිදී ආණ්ඩුව විසින්ම ඉදිරිපත් කළ වාර්තාවකට ආණ්ඩුවේම පක්ෂ විරුද්ධත්වය ප්‍රකාශ කොට එය පරාජය කිරීම විශේෂ සිදුවීමක් විය.

– rivira

27 views
Main News