ආණ්ඩුව මස් වැද්දන් සේ තුට්ටු දෙකට විකුණාගෙන කෑම නිහඩව ඉවසා සිටිනවාද..

January 9, 2017 at 8:02 am | lanka C news
ආණ්ඩුව මස් වැද්දන් සේ තුට්ටු දෙකට විකුණාගෙන කෑම නිහඩව ඉවසා සිටිනවාද..

හම්බන්තොට ගම්බිම් අහිමි වන ජනතාවට එල්ල කළ ප‍්‍රහාරය දැඩි සේ හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ මේ බව දැක්වෙයි.

සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

හම්බන්තොට ගම්බිම් අහිමි වන ජනතාවට එල්ල කළ ප‍්‍රහාරය දැඩි සේ හෙළා දකිනවා..

1818දී මෙන් පාවාදීමේ ගිවිසුමකින් තම ගම්බිම් විජාතිකයන්ට පවරා දීමේ ක‍්‍රියාදාමයකට එරෙහිව සාමකාමීව විරෝධය දැක් වූ හම්බන්තොට ජනතාවට එල්ල කොට තිබෙන ප‍්‍රහාරය දැඩි සේ හෙළා දකින්නෙමු.

මහා සංඝරත්නය පෙරටුකොට ගෙන උසාවි නියෝගයද නොකඩමින් හම්බන්තොට ජනතාව සූදානම්ව සිටියේ සාමකාමී සත්‍යග‍්‍රහයක නිරත වීමටය. ආණ්ඩුව කඳුළුගෑස්, රබර් උණ්ඩ, ජල ප‍්‍රහාරකයන් යොදා ගනිමින් පොලීසිය ලවා ද ගල් මුල්, පොලූ මුගුරු යොදා ගෙන එජාප මැරයන් ලවා ද ඉතා ආමානුෂික ප‍්‍රහාරයක් ඉහත පිරිස්වලට එල්ල කොට තිබේ.

මහා සංඝරත්නය, මහජනතාව පමණක් නොව, අවට ගම්මානවලට වැදී කළ පහරදීම් වලින් එම නිවස්වල සිටි ගැබිණි මාතාවන්ද තුවාල ලබා රෝහල්ගත කිරීමට පවා මෙම පහරදීම මිලේච්ඡු ස්වරූපයක් ගෙන තිබිණි.

‘රන් බිජුලන කිකිළියක්’ වැනි අපේ මාතෘභූමිය සතු වටිනාම ජාතික සම්පතක් වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය ද අපේ මුතුන් මිත්තන්ගේ ඉපැරණි සොහෙන් කොත් ඇතුළු පාරම්පරික උරුමයන් සහිත හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉඩම් අක්කර 15,000ක්ද මේ ආණ්ඩුව මස් වැද්දන් සේ තුට්ටු දෙකට විකුණාගෙන කෑම මේ රටේ ජනතාවට නිහ`ඩව ඉවසා සිටිය හැකිද?

එවැනි ජාතික ව්‍යසනයකට එරෙහිව පෙරට ආ මේ රටේ සුජාත දු පුතුන් පිරිසක් මෙසේ මේ ආණ්ඩුවේ මර්දන හස්තයට හසුව තිබේ. ආණ්ඩුවේ මේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී, ඒකාධිපති ගමනට එරෙහිව පටුවාදභේද අතහැර අත්වැල් බැඳගත යුතු මොහොතක් එළඹ තිබේ. ඒ සඳහා පෙරට එන ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන, දේශපේ‍්‍රමී සියලූ ජනකොටස් වෙත මෙයින් අරයුම් කොට සිටින්නෙමු.

විමල් වීරවංශ (පා.ම.)
නායක
ජාතික නිදහස් පෙරමුණ

88 views