ආධාර ලබා දීමෙන් පමණක් අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්වය උසස් කරන්න බෑ…

July 9, 2021 at 6:20 am | lanka C news
ආධාර ලබා දීමෙන් පමණක් අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්වය උසස් කරන්න බෑ…

‘ආධාර ලබා දීමෙන් පමණක් අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්වය උසස් කරලීමට හැකියාවක් නැහැ’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

සෞභාග්‍යා – සමෘද්ධි නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ‘විසිතුරු පැල නිෂ්පාදන’ ගම්මාන ව්‍යාපෘතිය මාකෙවිට දකුණ ග්‍රාමසේවා වසමේදී නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

එම අවස්ථාවේදී පැමිණ සිටි පිරිස අමතා අමාත්‍යවරයා ඉහත අදහස් පළකරන ලදි.

අඩු ආදායම්ලාභීන්ට ආධාර, සහනාධාර ලබාදීමේ වැඩසටහන් දශක ගණනාවක සිට විවිධ රජයන් ක්‍රියාත්මක කළ ද ඔවුන්ගේ ජීවිත ඉදිරියට පැමිණ නැති බව ප්‍රායෝගිකවම අත්දැක ඇති බවත්, ආධාර ලබා දීමෙන් අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්වය උසස් කරලීමට හැකියාවක් නොමැති බවත්, ඔවුන්ගේ ආදායම් ඉහළනැංවීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කර සමෘද්ධිලාභියා ව්‍යවසායකයෙකු බවට පත් කිරීමේ මූලික අරමුණට ගමන් කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

විසිතුරු මල්වගාව ස්වයං රැකියාවක් ලෙස හා විදේශ විනිමය උපයා ගත හැකි ව්‍යාපාරයක් වන අතර එය කුඩා ආයෝජනයකින් ආරම්භ කර වැඩිදියුණු කරගත හැකිය. මේ සඳහා අවශ්‍ය වන්නේ සමෘද්ධිලාභීන්ට නව අදහස් ආකල්ප, නිසි පුහුණුව සහ නව ක්‍ෂේත්‍ර හඳුන්වා දී ආයෝජනයට අතහිත දීම පමණි. ඒ පිළිබඳව ක්‍ෂෙත්‍රයේ විෂය පරිණත නිලධාරීන් කටයුතු කරනු ඇතැයි මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වර්තමානයේ ලොව සෑම රටකම පාහේ මල් වගාකරුවන් පමණක් නොව සෑම ක්‍ෂෙත්‍රයක්ම යම් පසුබෑමකට මුහුණ දී ඇත. එබැවින් නැවත වෙළෙඳපොල සක්‍රීය කර ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද, සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම තුළින් ඔබට ගුණාත්මක නිෂ්පාදනයක් පාරිභෝගිකයාට ලබාදීමටත්, තම ජීවන තත්වය උසස් කර ගැනීමටත් මෙම සෞභාග්‍යා – සමෘද්ධි නිෂ්පාදන ගම්මාන වැඩසටහනට හැකිවේවායි ආශිර්වාද කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට සමෘද්ධි නිලධාරීන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ සමෘද්ධිලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

– ඩබ්. ඒ. උදිත පුෂ්පකුමාර

8,837 views

11 Comments to “ආධාර ලබා දීමෙන් පමණක් අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්වය උසස් කරන්න බෑ…”

  1. Sirimal says:

    සීනි බෝල මැට් වලං හදලා විසිතුරු මල් වගා කරලා රට ගොඩ දාන්න මොංගල් ආංඩුවක්. රට ඉවරයි.