ආනයන නවතා අපනයනය විතරක් කරන්න සිතීම ආර්ථික විද්‍යාව නොදන්නාකමයි…- ගොඩහේවා…

February 17, 2022 at 3:20 am | lanka C news
ආනයන නවතා අපනයනය විතරක් කරන්න සිතීම ආර්ථික විද්‍යාව නොදන්නාකමයි…- ගොඩහේවා…

‘රටේ ආර්ථික සංවර්ධනයට උපායමාර්ගිකව වැදගත් ව්‍යාපෘති මොන බලපෑම් ආවත් නවත්වන්නේ නැහැ’ යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ ජා-ඇල Logistics park සැපයුම් ආශ‍්‍රිත සංවර්ධන ව්‍යාපෘතියට මුල් ගල තැබීම පසුගියදා ජා-ඇලදී ආරම්භ කළ අවස්ථාවේදීය.

නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 36 ක භූමි භාගයක විවෘත ටෙන්ඩර් කැඳවීමකින් අනතුරුව දෙස් විදෙස් ආයෝජකයින් අතරින් තෝරා ගත් දේශීය ආයෝජකයෙකු විසින් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය මගින් ඍජු රැකියා 800 ක් සහ වක්‍ර රැකියා දහස් ගණනක් නිර්මාණය වෙතැයි අපේක්‍ෂා කෙරේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලබන තවත් වැදගත් ව්‍යාපෘතියක් ලෙස අපි මේ ලොජිස්ටික් පාර්ක් ව්‍යාපෘතිය දකිනවා. කාලයක් තිස්සේ තිබුන අදහසක් අපි දැන් ක්‍රියාවට නගල තිබෙනවා. ඒ නිසා මෙම අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව ලැබීම ගැන අපි ඉතාමත් සතුටක් කොට සලකනවා.

රටක ආර්ථිකය මෙහෙයවීමේ දී රජයකට අභියෝග රාශියක් තිබෙනවා. සමහර අභියෝග අපි කෙටි කාලීන විසඳුම් සෙවිය යුතු අභියෝග. ඒ අතර හැමදාමත් අපි දියුණු වෙමින් ඉන්න රටක් කියමින් ඉන්න එක නතර කරලා ඇත්තටම දියුණු රටක් බවට පත්වෙන්නේ කොහොමද කියන දීර්ඝ කාලීන අභියෝගය අපට තිබෙනවා. අපේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතාමත් විධිමත් බුද්ධිමත් ඥානාන්විත සැලැස්මක් අවශ්‍ය වෙනවා.

අපේ රටේ සංවර්ධනය ගැන කතා කරන කොට අපට එක ක්ෂේත්‍රයක් ගැන විතරක් කතා කරන්න බැහැ. උදාහරණයක් වශයෙන් කෘෂිකර්මාන්තය ගැන අද බොහෝදෙනෙක් කතා කරනවා. අපි තේරුම් ගන්නට ඕනේ කෘෂිකර්මාන්තයෙන් විතරක් මේ රට දියුණු කරන්නට බැහැ කියන සත්‍යය. අපේ රටේ දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මාන්තයේ දායකත්වය මේ වන විට 7% ක් නැත්නම් 8% ක් පමණයි. නමුත් රටේ ජනතාවගෙන් 30% ක් පමණ කෘෂිකර්මාන්තය මත යැපෙන නිසායි අපට ඒ ක්ෂේත්‍රය විශේෂයෙන්ම වැදගත්.

අපි මතක තියාගන්න ඕනේ රටේ ආර්ථිකයට 26 % ක් පමන කර්මාන්තවලිනුත් 58% පමන සේවාවලිනුත් දායකත්වය ලැබෙන බව. ඒ නිසා රටේ සංවර්ධනය ගැන කතාකරන විට කර්මාන්ත හා සේවා කියන ක්ෂේත්‍ර දෙකත් ඉතාමත්ම වැදගත් වෙනවා. කොටින්ම කියනවා නම් කෘෂිකර්ම, කර්මාන්ත, සේවා කියන ක්‍ෂෙත‍්‍ර තුනම අපි සංවර්ධනය කරන්නට අවශ්‍යයි.

එතනදීත් අප වටහාගත යුතුයි අපට මොනවද පහසුවෙන්ම කරන්න පුළුවන්, මොන ක්ෂේත්‍රවලින්ද අපට ජාත්‍යන්තරයට යන්න පුළුවන්, මොන ක්ෂේත්‍රවලද අපට හැකියාව තිබෙන්නේ කියන කාරණය. මේවා හරියට වටහාගත්තොත් තමයි අපට පුළුවන් වෙන්නේ වෙළෙඳපොල තිබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නට අපේ හැකියාවන් භාවිතා කරලා. අපේ ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිය තුළ අපි විශ්වාස කරන දෙයක් තමයි ආර්ථිකයේ ප්‍රතිලාභ රටේ ජනතාවගේ සෑම කොටසකටම බෙදී යන්න ඕනේ කියන කාරණය. අපි දන්නවා වසරකට ලක්ෂ 3 ක් 4 ක් පමණ ප්‍රමාණයක තරුණ පිරිසක් රැකියා වෙළෙඳපොළට එනවා. ඒක රටපුරාම සිදුවෙනවා. මේ සියළු දෙනාටම අපි අවස්ථාවන් සලසන්නට ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේත්, සේවා ක්ෂේත්‍රයේත් වර්ධනය අපට ඉතාමත්ම වැදගත්.

ලෝකයේ කිසිම රටකට සංවෘත වෙලා වැඩ කරන්න බැහැ මන්ද අපි මේ ඉන්නේ ගෝලීය ආර්ථිකයක් තුළ. අපි ලෝකයේ සෑම රටක්ම අනෙක් රටවල් සමග ගණුදෙනු කරන්නට ඕනේ. ඒ ගණුදෙනු කිරීමේ කාර්යයේදී අපට අපනයනය, ආනයනය කියන දෙකම වැදගත් වෙනවා. සමහර අයගේ මතයක් තිබෙනවා මේ අපේ තිබෙන ඩොලර් අර්බුදය නිසා අපි ආනයනය සම්පූර්ණයෙන්ම සීමා කරලා අපනයනය විතරක් සම්පූර්ණයෙන්ම කරන්න ඕනේ කියලා. ඒක ආර්ථික විද්‍යාව ගැන නොදන්නා කම නිසා ඇතිවූ මතයක්. ආනයන හා අපනයන යන ක්ෂේත්‍ර දෙක හරහාම රජයට ආදායම් ලැබෙනවා. ඒ දෙක හරහාම අර්ථික අවස්ථාවන් ලැබෙනවා, රැකියා උත්පාදනය වෙනවා, ඒනිසා මේ දෙකම රටකට වැදගත්.

ලංකාවේ සංවර්ධනය ගැන කතා කරනවිට අපි කාලාන්තරයක් තිස්සේ හඳුනාගෙන හිටපු දෙයක් තමයි ලංකාවට ලෝක වෙළෙඳපල තුළ යම්කිසි තැනකට එන්න තිබෙන හොඳම අවස්ථාවක් තමයි කියලා ගුවන් හා නාවික ආශ‍්‍රිත සේවාවන් වර්ධනය කරන එක. ඒ අරමුණින් තමයි අපි පසුගිය කාලෙ මේ වරාය, ගුවන්තොටුපල සංවර්ධන කටයුතු විශාල අවධානයකින් කළේ. ඒ නිසා තමයි අපි කොළඹ වරාය වගේම හම්බන්තොට වරායත්, කන්කසන්තුරේ වරායත්, ත්‍රිකුණාමලය හා අනෙකුත් වරායවල් සංවර්ධනය කරන්න පටන් ගත්තේ. කොළඹ, මත්තල ගුවන්තොටුපලවල් වගේම අනෙකුත් ගුවන්තොටුපලවල් සංවර්ධනය කරන එක ආරම්භ කළේ. නමුත් පසුකාලීනව ඒවාට අපට බාධා පැමිණුනා. අන්තිමට අපට හම්බන්තොට වරාය නැතිවෙලත් ගියා . අපට දැන් කොළඹ වරාය ඉතිරිවෙලා තිබෙනවා. කොළඹ වරායෙන් අපි උපරිම ප‍්‍රයෝජන ගන්නට ඕනේ. දැනටමත් කොළඹ වරාය ආසියානු කලාපයේ තිබෙන කාර්යක්ෂම වරායක් කියලා හඳුන්වනු ලබනවා. අපි ඊයේ පෙරේදා පටන් ගත්තා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු කරන්නට. අපි නුදුරු අනාගතයේම බටහිර පර්යන්තයේත් ඉදිකිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ඉදිකිරීම් කටයුතු තව වසර කිහිපයක් තුළ අවසන් කළහම අපි ගණනය කරලා තිබෙනවා අපේ තිබෙන ධාරිතාවය ලෝකයේ තිබෙන ප්‍රධානතම වරායන් 15න් එකක් බවට පත්වන්නට පුළුවන් කියලා. ඒ වරායේ ධාරිතාවය එක පැත්තකින් දියුණුවනවාත් එක්කම ඒකට අදාල කරන පහසුකම්, අනෙක් ක්ෂේත්‍රත් විශේෂයෙන්ම මේ ගුදම් පහසුකම් වගේ අනෙකුත් සේවාවන් දියුණුවන්නට ඕනේ. අන්න එතනදි තමයි මේ ලොජිස්ටික් පාර්ක් කියන සංකල්පය අපට වැදගත් වන්නේ මේ පහසුකම් සැලසීම සඳහා.

රටේ සංවර්ධනය ගැන අපි යම්කිසි වැදගත් සැලැස්මක් ඇතිව වැඩ කරන කොට අපි සියළුම දේවල් ගැන සැළසුම් කරන්නට ඕනේ. නගර සැලසුම්කරණයේදී මේ ජාඇල ප්‍රදේශය අපි තෝරාගෙන තිබෙනවා ලොජිස්ටික් පහසුකම් සඳහා. විශේෂයෙන්ම මේ ගුදම් හා අදාල සේවා පහසුකම් සැලසීම සඳහා යොදාගත යුතු ප්‍රදේශයක් වශයෙන්. මොකද මේක එක පැත්තකින් වරායට කිට්ටුයි. අනෙක් පැත්තෙන් ගුවන්තොටුපලට කිට්ටුයි. ඒ අනුව තමයි අපි මේ කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයිතිවෙලා තිබූ ප්‍රයෝජනයට නොගත්ත අක්කර 36 ක පමණ භූමි ප්‍රමානයක ලොජිස්ටික්ස් පාර්ක් එකක් සෑදීම සඳහා ආයෝජකයන් කැදෙව්වේ. ආයෝජකයන් තෝරාගැනීමේදී විවෘත ලංසු තැබීම තමයි අපේ ක්‍රමවේදය. අපි ඉස්සර වගේ කවුරු හරි දේශපාලනඥයෙකුගේ ඇඳුනුම්කමට බිස්නස් දෙන ආණ්ඩුවක් නෙමෙයි. විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශයේ එහෙම වෙන්නේ නැහැ මොනම හේතුවක් නිසාවත්. අපි හැම විටම ඉතාමත් විනිවිදව පාරදෘශ්‍යභාවයෙන් තමයි හැම කටයුත්තක්ම කරන්නේ. එතකොට ලොජිස්ටික් පාර්ක් එක සඳහා අපි ලංසු කැඳෙව්වා ජාත්‍යන්තරව සහ දේශීය සමාගම්වලින්. අපි ඉතාමත්ම සංතෝෂ වෙනවා දේශීය සමාගමක් වන ඇක්සස් සමාගම, ලංකාවේ ලැයිස්තුගත සමාගම්වලින් ඉදිරියෙන්ම ඉන්න සමාගමක් ඒ සඳහා තෝරාගන්න ලැබීම ගැන. එතුමන්ලා රජයේ තක්සේරුකරුගේ වටිනාකමටත් වඩා තුන්ගුණයක් පමණ මේ වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණා. දෙවෙනියට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නේ ඔවුන්ගේ ලංසුව. ඒ නිසා කිසිම බලපෑමකින්, වෙන දැන හැඳුනුම්කමකින් තොරව ඉතාමත්ම පාරදෘශ්‍ය ක‍්‍රමවේදයකින් දේශීය සමාගමක් මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙනවා. ඔවුන්ගේ ඉතිහාසය පුරාම රටපුරා ඉදිකිරීම් කර්මාන්තය තුළ කර තිබෙන විප්ලවය දිහා බැලවහම අපි විශ්වාස කරනවා එතුමන්ලා මේ කාර්යය ඉතාමත් සාර්ථකව කරලා මේ මුළු ආසියානු කලාපයේම නමක් දිනා ගන්න පුළුවන් තාක්ෂණයෙන් ඉහළම ලොජිස්ටික් පාර්ක් එකක් මෙතන හදලා දේවි කියලා මේ රට වෙනුවෙන්.

මේ ව්‍යාපෘතිය හරහා මේ ප්‍රදේශයට විශාල ප‍්‍රතිලාභ රාශියක් ඇතිවෙනවා. එක පැත්තකින් ඍජු රැකියා 800 ක් පමණ මේ හරහා ඇතිවෙනවා කියලා මට දැනුම් දීලා තිබෙනවා. වක‍්‍ර රැකියා දහස් ගණනක් මේ හරහා අැතිවේවි. ඒ වගේම මේ ලොජිස්ටික් පාර්ක් එකට සේවා සපයන්නන් ඉතා විශාල ප‍්‍රමාණයකට ව්‍යාපාරික අවස්ථා මේ නිසා සැලසේවි. ඒ අතර ප්‍රදේශවාසීන්ටත් විශේෂ අවස්ථා ලැබේවි. විශේෂයෙන්ම අපේ මේ ඩොලර් අර්බුදය ගැන කතා කරන වෙලාවේ විදේශ විනිමය රටට ඇද ගන්නට විශාල අවස්ථාවක් මේ හරහා අපට සැලසේවි. මේ ව්‍යාපෘතිය හරහා තවත් විදේශ ආයෝජන ගණනාවකුත් රටට එන්නට නියමිතයි. ඒ නිසා හැම පැත්තෙන්ම මේක රටට වැදගත් ව්‍යාපෘතියක්. ඒ වගේම මේ ජා ඇලට ඉතාමත්ම වැදගත් ව්‍යාපෘතියක්.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ දේශපාලනඥයෙක් වශයෙන් පසුගිය කාලයේ මැතිවරණයේදී මේ ජා ඇල ප්‍රදේශය දියුණු කරන්න විශේෂ පොරොන්දුවක් දුන් දේශපාලනඥයෙක් වශයෙන් මම ඉතාමත්ම සංතෝෂ වෙනවා ජා ඇලට මේ ව්‍යාපෘතිය ගෙන එන්නට ලැබීම ගැන. මෙහි ප්‍රතිලාබ අපි දකින්නේ අද නෙමෙයි හෙටයි.

සමහර වෙලාවට අමනෝඥ දේශපාලනඥයින් දුරදිග දකින්නේ නැති අය මේවා පිළිබඳ දුර්මත ඇති කරන්න උත්සාහ කරනවා. පහුගිය කාලෙත් අපි දැක්කා යම් යම් කලබැගෑනි ඇති කරන්න උත්සාහ කරනවා. අපි කණගාටු වෙනවා ඒ අයට මේ රටේ අවශ්‍යතාව, මේ ජාතියේ අවශ්‍යතාව, මේ වගේ වටිනා ව්‍යාපෘතිවල වටිනාකම තේරුම් ගන්නට බැරි එක ගැන. හැබැයි අපි ඒවයින් කිසි සේත්ම කලබල වන්නේ නැහැ. මොකද අපි අපේ ගමන යනවා. අපි මේ ගමන යන්නේ රට වෙනුවෙන්. මොකද රට වෙනුවෙන් කරන කටයුතු මොනම හේතුවක් නිසාවත්, මොනම බලපෑමක් නිසාවත් අපි නතර කරන්නේ නැහැ. ප‍්‍රමාද කරන්නෙත් නැහැ. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ව්‍යාපෘතිවල උපරිම ප‍්‍රයෝජන ගන්න කියලා. අපේ රජයේ නිලධාරින්ගෙනුත් ඉල්ලා සිටිනවා අපි මේකට අවසර දුන්නා පමණක් නෙමෙයි මෙතනින් එහාට මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා අපට දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම අපි ලබා දෙන්න ඕනේ.

රාජ්‍ය අංශයට පමණක් රටක් හදන්න බැහැ. රාජ්‍ය අංශයේ වගකීම වෙන්න ඕනේ රාජ්‍ය අංශයේ වගකීම ඉටු කරන ගමන් පෞද්ගලික අංශයටත් පුළුවන් තරම් අවස්ථාව ලබාදීලා මේ රටේ ආර්ථික සංවර්ධන කි‍්‍රයාවලිය සඳහා මේ සියලූ දෙනාම දායක කරගන්න එක. ඒ සඳහා සහයෝගය ලබාදෙන්න කියල අපි අපේ දේශපාලන අධිකාරියෙනුත් ඒ වගේම රාජ්‍ය නිලධාරින්ගෙනුත් සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා’’ යැයි පැවසීය.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්

18,744 views

3 Comments to “ආනයන නවතා අපනයනය විතරක් කරන්න සිතීම ආර්ථික විද්‍යාව නොදන්නාකමයි…- ගොඩහේවා…”

  1. jeppa says:

    මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද… ඕ ලෙවල් ආර්තික විද්‍යා දැනුමවත් නැති හරකෙක්නෙ රට පාලනේ කරන්නෙ.. ආර්තික විද්‍යාවෙන් තීරණ ගන්න ඕන තැනට ජාතිකවාදෙන් තීරණ ගන්න සෙට් එකක් තමා හෙල දේශීය ජාතිකවාදී බයියො කියන්නෙ..

  2. Suranimala says:

    මේ මෝඩ හරක්ට ආචාර් ය පට්ටම් දුන්නේ මොකාද දන්නේ නෑ .මේවගේ උග්‍ර විදේශ විනමය ඌන තාවයක් තිබෙන අවස්තාවක කලයුතු ප්‍රධානම කාර්ය තමා ආනයනය සීමා කිරීම .එසේ නොකල්හොත් රට කඩා වැටෙනවා .මෙය පෙරපාසැල් දරුවෙක් පවා දන්නා කරුනක් .මේ තක්කඩි මේ කරණු නොදන්නවා නොවේ . නමුත් මේ හොර තක්කඩින්ට අවස්‍ය ආනයන සීමා ලිහිල් කරගෙන .අර මැද පෙරදිග අපා දුක් විදල උපයන විදේශ විනමයෙන් මුන්ට අති සුඛෝපබෝගී වාහන ගෙන්වා ගැනීමට .අනේ මෙහෙමත් හොර හැත්තක් .

  3. Lapaya says:

    මේ හෑලි කියවන්න වෙලාවක් නැ බන්. හෑලි ටයිප් කරන වෙලේ වීඩියෝ එකක් හරි ඔ්ඩියෝ එකක් හරි දාපන්..

Main News