ආරක්ෂක හිස්වැසුම් ප්‍රමිතිකරණයේ විශාල ගැටලුවක්..

March 28, 2017 at 12:40 pm | lanka C news
ආරක්ෂක හිස්වැසුම් ප්‍රමිතිකරණයේ විශාල ගැටලුවක්..

ආරක්ෂක හිස්වැසුම් ප්‍රමිතිකරණයේ විශාල ගැටලුවක් ඇති බව සමස්ත ලංකා යතුරු පැදි කරුවන්ගේ සංගමය චෝදනා කරයි.

මේ බව පෙන්වා දෙමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි : ආරක්ෂක හිස්වැසුම් ප්‍රමිතිකරණයේ විශාල ගැටලුවක්

මේ වන විට SLS සහිත ආරක්ෂක හිස්වැසුම් වෙළෙඳපොළට පැමිණෙමින් පවති. දැනට ඇත්තෙ එක ප්‍රමාණයක හිස්වැසුම් පමණී. එයට හේතුව එක් එක් ප්‍රමාණයේ හිස්වැසුමක්ම අධික මුදලක් වියදම් කර වෙන වෙනම ප්‍රමිතිකරණයට භාජනය කල යුතු වීමයි. දැනට නිකුත්වන මධ්‍යම ප්‍රමාණයේ හිස්වැසුම් බහුතර ජනතාවගේ හිසට සරිලන ප්‍රමාණයේ හිස්වැසුම් නොවන බවට අපට වාර්තාවී තිබේ. මීට හේතුවන්නේ ප්‍රමිතිකරණය තුලදී හිස්වැසුමේ ඇතුලත ස්තරය අසාමාන්‍යව අධික ලෙස ඝනකම් වීම නිසා හිස්වැසුමේ ඇතුලත පළදින්නාගේ හිසට වඩා කුඩා වී ඇත. නිසි ප්‍රමාණයේ හිස්වැසුම් නොපැළදීම හේතුවෙන් අනතුරකදී යතුරුපැදිකරුවාට හිස්වැසුමෙන් ආරක්ෂාවක් නොලැබෙනවා පමණක් නොව, ඉන් යතුරුපැදිකරුවාට වෙනත් රෝගී තත්වයන්ට මුහුණ දීමට සිදුවේ.

හිස්වැසුමක් එය පැළදිවිට :-

  1. ඉන් හිසට අධික තෙරපුමක් හෝ අපහසුතාවයක් සිදුනොවිය යුතුය. නමුත් හිසමත අධික ලෙස ලිහිල්ව නොතිබිය යුතුය.
  2. පරිශ්‍රමයකින් තොරව එය හිසට සවි විය යුතුය.
  3. හිස්වැසුමේ ඇතුලත පුද්ගලයාගේ මුළු හිසම ස්පර්ශ විය යුතුය. එසේ නොවන්නේ නම් එය දැඩි ගැටලුවක් වේ.
  4. හිස්වැසුමෙන් පුද්ගලයාගේ ඇහිබැම දක්වා නළල පෙදසෙන් 3/4 වත් අනිවාර්යයෙන් ආවරණය විය යුතුය.
  5. හිසරදයක් සෑදෙන්නේ නම් වහා භාවිතයෙන් ඉවත් කල යුතුය. වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

ඉහත කාරණාවන් සම්පුර්ණ නොවේ නම් එය හිසට සරිලන ප්‍රමාණයේ හිස්වැසුමක් නොවන නිසා නිසි ආරක්ෂාවක් නොලැබේ. හිස්වැසුම් අලවි කරනා පුද්ගලයන්ද මේ කාරනා පිලිබඳ සැලකිලිමත් විය යුතුය.

මෙම කරුණු පිලිබඳව ජනතාව දැනුවත් කරන ලෙස සියලුම මාධ්‍ය ආයතනයන්ගෙන් අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ප්‍රමිතිගත හිස්වැසුම් පිලිබඳ ගැටලු ඇත්නම් අප සංගමය 0773083479 යන දුරකථන අංකයෙන් සම්බන්ධවී අපට තොරතුරු ලබාදෙන ලෙස සියලුම යතුරුපැදිකරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

චිරන්ත අමරසිංහ.
ලේකම්
සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

30 views
Main News