ආර්ථික අර්බුදයක් ඇතිවෙනවා කියා හැමෝටම කලින් කීවේ මමයි..

October 10, 2018 at 12:00 pm | lanka C news
ආර්ථික අර්බුදයක් ඇතිවෙනවා කියා හැමෝටම කලින් කීවේ මමයි..

ජාතික හෙළ උරුමයේ මහාලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්‍ඡවකට එක් වෙමිනි.

‘රුපියල අවප‍්‍රමාණය වීම මහා අර්බුදයක්, රට මහා අගාධයකට යෑමක්, ඒ වගේම රාජපක්ෂ පවුලේ උදවිය කියනවා, ඒ ඇත්තන්ගේ කාලයේ රුපියල අවප‍්‍රමාණය වීම පාලනය වුණා මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මේ සියල්ලම සිදුවුණේ. එමනිසා ඒ ඇත්තන්ට නැවත බලය ලබාදෙන්න, රුපියල ස්ථාවර කරන්න, ණයගැති භාවය නැති කරන්න හැකියි කියලා. නොයෙක් වාචාල කතා, තෙල් බෙහෙත් වෙළෙන්දන්ගේ කතා අපට ඇහෙනවා මේ අර්බුදය අස්සේ. එම නිසා අපි මේ සඳහා විද්‍යාත්මක විසඳුම් යෝජනාවලියක් ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කරනවා.

හැමෝටම කලින් මේ රටේ මූල්‍ය අර්බුදයක් ඇතිවෙනවා කියන එක මුලින් අනතුරු ඇඟෙව්වේ මම. අද ඉන්න ආර්ථික විශේෂඥයෝ, විද්‍යාඥයෝ කියන අයවත් රාජපක්ෂලවත් නොවෙයි මුලින්ම හෙළි කළේ 2016 ජුනි මාසයේදී අපි පැහැදිලිව රටට හෙළි කළා, ‘මූල්‍ය ආගාධයක් ඉදිරියෙන්’ කියන කෘතියෙන්. 2017,18,19 සහ 20 වසරවල රාජපක්ෂලා ගත්ත විශාල ණය කන්දක් භාරදී තිබෙනවා. එයට මුහුණ දීම සඳහා රටේ ආදායම වැඩිකරගත යුතුයි. විදේශ විනිමය පැත්තෙන් අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්. අද ඇමරිකා එක්සත් ජනපදයේ කි‍්‍රයාකාරීත්වය හා ට‍්‍රම්ප් ආණ්ඩුව එන්න පෙර මෙම ආර්ථික අර්බුදය ගැන හා ඇමරිකා එක්සත් ජනපදයේ කි‍්‍රයාකාරීත්වයේ ස්වභාවය පිළිබඳව අපි ප‍්‍රකාශ කර තිබුණා. තවද මා විසින් අවස්ථා කිහිපයකදී  ඉන්ධන මිල සූත‍්‍රය පිළිබඳව, බදු ප‍්‍රතිපත්තිය ගැන, ණය ගෙවීමේ තත්වය පිළිබඳව, ආර්ථික ප‍්‍රශ්න වලින් ගැලවීමේ කි‍්‍රයාමාර්ග පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කරනු ලැබුවා.

අපි මේ අර්බුදය සම්බන්ධව හොඳින් දැන සිටියා. අදාල පාර්ශවයනට අපි අනතුරු ඇඟෙව්වා. ඉන් නොනැවතී ඒ සම්බන්ධ විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. කණගාටුවට කරුණ බොහෝ පිරිස් රට අර්බුදයට වැටෙනකම්ම බලා සිටියා. 2004 දි අපි දුගී රටවල් කියන ලේබලයෙන් අයින්වීම හේතුවෙන් අපට සහ ණය, අන්තර්ජාතික ආයතනවලින් නොලැබී ගියා. රටට පාඩුවක් වුවත් එය ලෝකයටම පොදු තත්වයක් මේ සඳහා පිළිතුරු ලෙස රාජපක්ෂ ආණ්ඩුව කළේ අධික පොළියට කෙටි කාලීන ණය විවිධ මූල්‍ය ආයතනයන්ගෙන් ලබාගත්තා. ඒ නිසා 2005 දී විදේශ මූල්‍යන්ගෙන් ලැබුණු ණය 5% කට වඩා අඩු ප‍්‍රමාණයක් තමයි තිබුණේ. මහින්ද මහත්තයා මේ මුදල 55%  කළා. අඩු පොළියට ණය අරන් කිිසිම ආදායමක් නැති ව්‍යාපෘතිවල ආයෝජනය කළා. එදා කෙටි කාලීනව ගත්ත ණය අධික පොළිය සහිත විදේශ ණය බර අද රටට විශාල බලපෑමක්.

රුපියල අවප‍්‍රමාණය වීම හේතුවෙන් පිටරටින් ගෙන්වන භාණ්ඩවල මිල ඉහළ යනවා. තෙල් මිල, ඖෂධ මිල, පොහොර මිල, පිරටින් ගෙන්වන ආහාර වල ආදී මේ හැම එකකම මිල ඉහළ යනවා. තෙල් අපි හයමාසයකට ණයට ගන්නේ. සෑම රුපියලක්ම ඩොලරයට වැඩිවෙනකොට රුපියල් බිලියන 2.5 ක බරක් තෙල් සංස්ථාවට එනවා. අනෙක් පැත්තෙන් අපනයන ආදායම තේ, පොල්, කුරුඳු, ඇඟලූම් සහ රබර් ආදී වෙනත් දේවල් රට යවන හැමෝටම වැඩි ආදායමක් ලැබෙනවා. එවැනි පැති ගණනාවක්ම මේ කි‍්‍රයාදාමය තුළ තිබෙනවා. මේකට විසඳුම මොකද්ද? වෙළෙඳපොල ක‍්‍රමය ගැන හිතන අය කියන්නේ මේක අපි වෙළෙඳපොලට භාර දෙමු කියලා. එතකොට රුපියල පාවෙලා ගිහින් කොතනක හරි තැනක ස්ථාවර වෙයි කියලා. තව කට්ටියක් කියන්නේ පිටරටවලින් ණයට අරගෙන හරි අපි සල්ලි දාලා මේ රුපියල ආරක්‍ෂා කර ගමු කියලා. ඒ විදිහට රාජපක්ෂ යුගයේ සිදු කළා.

2005 ඉඳන් 15 ඩොලර් බිලියන 7.2 ක්, 4.2ක් දාලා මේ රුපියල ආරක්‍ෂා කරන්න බැලූවා. හැබැයි එතුමන්ලාගේ කාළේ රුපියල 16% කට වඩා වැඩි ප‍්‍රමාණයකින් අවප‍්‍රමාණය උනා. ඒ කියන්නේ සල්ලි දැම්මා කියලා මුලික ලෙඬේ හොඳ කරන්නේ නැතිව රුපියල ආරක්‍ෂා කරන්න බැහැ. ෙඖෂධ, ආහාර ගෙන්වන්න තිබූ වටිනා ඩොලර් ණයට ගත්තු ඒවා අපිට මේ සඳහා වැය කරන්න සිදුවෙනවා.  ඒ නිසා අපි විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. පළමුවෙන්ම අපේ අපනයනය වැඩි කරගත යුතුයි. අවිධිමත්  ආයොජන කලාප දැන් හැමතැනම පිහිටුවන්නේ. එම ආයෝජන කලාපවලට ආයෝජකයෝ එන්නේ නැහැ. ඒ වෙනුවට අපි යෝජනා කරනවා නවෝත්පාදනය පදනම් කර ගත් ශක්තිමත් ආයෝජන කලාප පිහිටුවන්න කියලා. හැම ගමකටම එක ගානේ ආයෝජන කලාප පිහිටුවනවා වෙනුවට නවෝත්පාදනයට පදනම් කර ගත් ශක්තිමත් ආයෝජන කලාප කිහිපයක් පිහිටුවන්න ඒ තුළින් අපට විශාල ඩොලර් ප‍්‍රමාණයක් උපයගන්න පුළුවන්.

ඒ වගේම අපේ රටේ විදේශගතව සිටින විශාල පිරිසට ලංකාව තුළට ඩොලර් ගෙනල්ල ආයෝජනය කරන්න අපි දේශපේ‍්‍රමීන් හැටියට ආරාධනා කරන්න. මෙම ගැටළුව මීට වඩා බරපතල විදිහට තුර්කියේ ආවා. ඇමරිකාව සම්බාධක පැනෙව්වා. තුර්කි ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා විදේශ ගත මෙන්ම තුර්කියේ ජනතාවගෙන් ආණ්ඩුවට ඇවිල්ලා ඩොලර් තැන්පත් කරන්න කියලා. ඒ අනුව පළවෙනි සතියෙ ඩොලර් මිලියන 680 ක් තුර්කියේ මිනිසුන් රට බේරගන්න තැන්පත් කළා. අපි කාටවත් බල කරන්න අවශ්‍ය නැහැ  මිලියන 2 කට ආසන්න පිරිසක් ඉන්නවා පිටරට ජීවත්වන. ඒ අයගෙන් එක්කෙනෙක් ඩොලර් 1000 ක් ලංකාවේ ආයෝජනය කළා නම් ඩොලර් බිලියන දෙකයි. ඒක ආවනම් මෙතන වෙළඳ හිඟයක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා රජයක් හැටියට අපි ශක්තිමත්ව ආයාචනා කළ යුතුයි මේ විදේශගත පිරිසට එන්න කියලා. ඒ වගේම වරාය, ගුවන්තොටුපොල ධාරිතාවයන් ඉක්මවා ගිහින් හිරවූ ස්වභාවයක් තිබෙන්නේ. ඒවා පුළුල් කළ යුතුයි එමගින් විශාල ඩොලර් ප‍්‍රමාණයක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා.

අපනයන වලින් විදේශ විනිමය උපයන අයට ආනයනය සඳහා වැඩිපුර දිරිමත් කිරීමක් සිදු කළ යුතුයි. ඩොලර් උපයන්නේ නැති අයත් ආනයනය කරනවා. උපයන අයත් ආනයනය කරනවා. ඒ දෙගොල්ලන්ටම අපි එකම ගාණ ගෙවන්නේ. ඒ නිසා ඩොලර් උපයන අයට අපි වැඩිදිරීමත් කිරීමක් සිදුකළ යුතුයි. ඒ වගේම අපේ අපනයන ආදායම්වලින් 20% ක් පමන පිටරවල රඳවාගෙන තිබෙනවා කියා චෝදනාවක් තිබෙනවා. රජය මගින් නීතියකුත් පැනෙව්වා දින 90ක් ඇතුළත එම මුදල් ගෙනෙන ලෙස. හැබැයි එහෙම උනේ නැහැ. ඒ අය සම්බන්ධයෙන් දිරිමත් කිරීමේ කි‍්‍රයාදාමයකින් මේ ධනය ලංකාවට නැවත හැකි ඉක්මනින් ගෙන ඒමට කටයුතු කරන ලෙස අපි කියනවා.

ඒ වගේම රට ඇතුළේ  සිදු කළ හැකි දේ තමයි දැනුම පදනම් කර ගත් සේවා සැපයීම. භාණ්ඩ යැවීම නෙමෙයි සේවා සැපයීම. අපේ දැනුම අපට තරඟකාරීව මේ කලාපයේ විකුණන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ ඉංජිනේරුවෙක් දවසකට ඩොලර් 800 කට කරන මෙහෙය ලංකාවේ ඩොලර් 30 කට සිදු කළ හැකියි. ඒක ඉතාම වටිනා සේවයක්. එයට අවශ්‍ය කරන කාර්යාල සහ අනෙකුත් පහසුකම් කොළෙඹ ඉතාම අඩුයි. අපි එය  ඉදිකරගෙන යනවා. එය ගොඩ නැගීම සඳහා රජයේ මැදිහත්වීමත් අවශ්‍යයි. එමගින් අපට විශාල ප‍්‍රයෝජනයක් ලැබෙනවා. ඒ වගේම පුහුණු ශ‍්‍රමිකයෝ විවිධ අවස්ථාවලදී එක එක රටවලින් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ශ‍්‍රම බලකාය අපි සූදානම් කළ යුතුයි. උදාහරණයක් විදිහට ජපානයේ ඔලිම්පික් උළෙල සඳහා විශාල සේවක පිරිසක් අවශ්‍ය වී තිබෙනවා. අපේ හරියට ශ‍්‍රමබලකායක් හිටියා නම් අපට එහෙට යවලා වාසියක් ලබාගන්න තිබුණු අවස්ථාවක්. ඒ නිසා පුහූණු සේවකයින් වැඩි වැඩියෙන් අපට අවශ්‍යයි විශ්ව විද්‍යාලවල බෝඩ් ලෑලි අල්ලගෙන ඉන්න පිරිස වෙනුවට, පුහුණු පිරිස බිහිකර ගැනීමට අවශ්‍යයි.

සංචාරක ව්‍යාපාරය ගත්තහාම වැඩියෙන් අවධානය යොමුකළ යුතුයි වනජීවි, භූගෝලීය සංචාරක ව්‍යාපාරය ඉහළ ගනයේ සංචාරකයින්ට. අපේ සංචාරකයින්ට යාලට ගිහින් දවසකට වියදම් කරන වගේ ප‍්‍රමාණයක් වියදම් කරනවා අප‍්‍රිකාවේ කූගර් පර්ක් එකේ. මොකද සංචාරකයන්ට අවශ්‍ය කරන ගුණාත්මක භාවය එතන තියෙනවා. අපේ රටෙත් එම ගූණාත්මක භාවය දෙනවා නම් පැහැදිලිව මෙම ආදායම හතරපස් ගුණයකින් වැඩිකරගන්න පුළුවන්.

ඊ ළඟට ආනයනය සීමාවකින් සිදුකර රට තුළ ආනයන ආදේශක නිර්මාණය කර දේශීය කර්මාන්තය දිරි දිය යුතුයි. අපේ යෝජනාව එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය යෝජනා ක‍්‍රමයත් තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා තාක්ෂණ ආයතනයත් එකට එකතු උනොත් හඳුන්කූර, ඉටිපන්දම, සරුංගලය වැනි භාණ්ඩ චීනෙන් ගේන එක  පාලනය කළ හැකියි. අපට තිබෙන්නේ ඩොලර් බිලියන 2ක ප‍්‍රශ්නයක්. මේක අපට රට ඇතුළේ නිෂ්පාදන දිරි දීමෙන් පහසුවෙන්ම වෙනස්කර ගත හැකියි. අද වෙනකොට අපේ දේශීය කර්මාන්තකරුවන් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ශීතකරණ, රෙදිසෝදන යන්ත‍්‍ර මේ වගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා ගුණාත්මකව නිපදවන්න පුළුවන් කියලා පෙන්වාදී තිබෙනවා. ප‍්‍රමිතියකින් තොර භාණ්ඩ තොග ගණන් එනවා වෙනුවට ලාභය තකා අපි රටතුළ දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම අපට තිබෙන ලොකුම ප‍්‍රශ්නය වන තෙල්, ගල් අඟුරු ඉල්ලූම කළමනාකරණය කිරීමෙන් භාවිතය පාලනය කරන්න පුළුවන්.  අද තිබෙනවා  ඕන තරම් උපක‍්‍රම බලශක්ති ඉල්ලූම පාලනය කරන්න.

මෝටර් සයිකල්, තී‍්‍ර වීල් , මෝටර් රථ වෙනුවට බස්රථ දුම්රිය ප‍්‍රචලිත කිරීම සඳහා රාජ්‍ය ආයෝජනය අත්‍යාවශ්‍යයි. අධිවේගී මාර්ග වෙනුවට රාජ්‍ය ආයෝජනය මේ දෙසට විය යුතුයි ඒ වගේම අප විසින් අරම්භ කළ වැඩපිළිවෙලක් වන මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සම්පත හැකි ඉක්මනින් උකහාගෙන එය හැකි ඉක්මනින්  රටට දැම්මනම් බලශක්තියට වැයවෙන මිල සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු කරගෙන බලශක්ති සුරක්‍ෂිතභාවය ගත හැකියි. ඒ වගේම අපේ රටේ මූල්‍ය ක්‍ෂෙත‍්‍රයේ සීමා පැමිණිය යුතු දේවල් තමයි මේ රටේ දේපල විකුණලා පිටරට දේපල මිලදී ගන්න යන කි‍්‍රයාදාමය. දළ දේශීය නිෂ්පාදයෙන් 5% ක් පමණ ප‍්‍රමාණයක් මේ සඳහා යනවා. ඒ වගේම පිටරට ඉගෙන ගන්න ගිහින් කිසිම තේරුමක් නැතිව  දහදුක් විඳිනවා. මෙන්න මේ කි‍්‍රයාදාමය පාලනය කරන්න අපි කටයුතු කරන්න  ඕනේ.

විශාල වංචාවක් සිදුවෙනවා රේගුව තුළ. භාණ්ඩ ලේඛන ගත කිරීම. ඒ කියන්නේ ඉන්වොයිස් කරනයේදී, අපනයනය කරනකොට අඩුවෙන් කරනවා. ආයනයනය කිරීමේදී අඩුවෙන් කරනවා. අපනයනය කිරීමේදී වැඩියෙන් කරනවා. මේ මගින් රටට අතිවිශාල ධනස්කන්ධයක් අහිමි වෙනවා. මෙය පාලනය කිරීමට විධිමත් කරණයක් අවශ්‍යයි. ඒ වගේම ස්ථාවර බදු ප‍්‍රතිපත්තියක් මත ඩොලර් මිලියන 100 කට වඩා රටට ගෙනෙන ආයෝජකයින්ට විශේෂ සහන රජය ප‍්‍රකාශ කළ යුතු කාලය එළඹ තිබෙනවා.

ඒ වගේම ඇමරිකාවේ වෙළඳපොලට ඇදී යන ලංකාවේ දැනට තිබෙන සල්ලි ටික ලංකාවේ රඳවා ගන්න ඒ අයට දිරි පොලී දීමනාවක් ලබාදෙන්න කියලත් අපි යෝජනා කරනවා. එතකොට ආණ්ඩුවේ මේ සම්බන්ධව තිබෙන ආයතන වන මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, අපනයනය සඳහා තිබෙන අපනයන සංවර්ධන ආයතන වෙළඳ වාණිජ අමාත්‍යාංශය මේ අමාත්‍යාංශ ටික එකට කැටි කරලා එක ආයතනයක් හදලා ජනාධිපතිතුමා, අගමැතිතුමා මෙයට මූලිකත්වය දී මේ කාරණා ටික ඇතුළත් නව ආර්ථික පැකේජයක් හදලා, එය වහාම ප‍්‍රකාශයට පත් කර මෙයට මුහුණ දිය යුතුයි. මේ අර්බුදය අපට වාසියක්, ආශිර්වාදයක් කරගත හැකියැයි ද පැවසීය.

– මාධ්‍ය ඒකකය

190 views