ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය ශ‍්‍රී ලංකාව බවට පත් කරන්නයි අපි හදන්නේ..- ජොන්ස්ටන්

September 7, 2020 at 4:40 pm | lanka C news
ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය ශ‍්‍රී ලංකාව බවට පත් කරන්නයි අපි හදන්නේ..- ජොන්ස්ටන්

දේශීය පරිභෝජනය සදහා අවශ්‍ය කහ අප විසින් නිෂ්පාදනය කල යුතු බවත් ඒ සදහා ස්ථාවර මිලක් ලබා දිය යුතු බවත් කෘෂි කාර්මික අංශයේ සියළුම නිලධාරින් වෙත ජනාධිපතිතුමන් උපදෙස් දී ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ කුරුණෑගල මහනාන්නේරිය ගම්මානයේ ගම්වාසීන් සමග ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතාවයන් පිළිබදව සොයා බැලීමට ගොස් ඔවුන් සමග සුහද කථාබහකට එක්වූ අවස්ථාවේදීය.

මේ රටේ මාර්ග පද්ධතියේ කිලෝමීටර් 100,000ක් කඩිනමින් සංවර්ධනය කිරිමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අළුතින් අධිවේගී මාර්ග කිහිපයක් ආරම්භ කරනවා. එමගීන් ග්‍රාමීය ජනතාවගේ කෘෂි නිෂ්පාදන කඩිනමින් ප්‍රධාන නගර වලට ගෙනවිත් එම නිෂ්පාදන සදහා සහතික මිලක් නිර්මාණය කර ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරිමට අපගේ රජය බලාපොරොත්තු වෙනවා. රටේ ආනයනයන් සීමා කර ජනතාවට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය රටතුල නිෂ්පාදනය කිරිමට ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. සරුංගලය පවා විදේශ රටවලින් ගෙන ආ යුගය අවසන් කර ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් රට තුල ඇති කර “සංවර්ධනය වෙමින් පවතින රටක්” යන නාමයට තිත තබා සංවර්ධිත රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට රැගෙන අවසන්.

බඩඉරිගු වැනි දේශිය බෝග රට තුල වගාව රට තුල ව්‍යාප්ත කිරිම මගීන් තිරිඟු පිටි ආනයනය සදහා වැය කරන මුදල් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. විදේශ රටවලින් ආනයනය කරන කෘෂි නිෂ්පාදන සදහා සීමා පනවා දේශීය ගොවියාගේ නිෂ්පාදන සදහා නිෂ්චිත මිලක් ලබා දීමට මේ වන විටත් පියවරගෙන ඇත. අපි මේ සීමාවන් පනවන්නේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරිම සදහා දේශිය ගොවියන් දිරිමත් කර ඔවුන්ව ආරක්ෂා කිරීමටයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය ඇති රට බවට අපිට පත්වන්න පුළුවන් බව මාගේ විශ්වාසයයි.

2015ට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේ සහල්, කුකුල් මස්, බිත්තර වැනි දෑ මෙරටට ආනයනය සීමා කලා. නමුත් පසුගිය යහපාලන සමයේ මේ සියල්ල පාලනයකින් තොරව ආනයනය කලා. එම නිසා දේශිය කර්මාන්තකරුවන් අධෛර්යමත් වුණා. මේ වන විට අප රට තුල කහ සදහා ඉහල ඉල්ලුමක් ඇති වී තිබෙනවා.

අද වෙළදපොළේ කහ කිලෝග්‍රෑමයක් රු. 4000ත් 5000ත් අතර අධික මිලකට අලෙවි වෙනවා. දේශීය පරිභෝජනය සදහා අවශ්‍ය කහ අප විසින් නිෂ්පාදනය කල යුතු බවත් ඒ සදහා ස්ථාවර මිලක් ලබා දිය යුතු බවත් කෘෂි කාර්මික අංශයේ සියළුම නිලධාරින් වෙත අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් දී තිබෙනවා. සමහරු අපෙන් ප්‍රශ්න කරනවා දේශීය වෙළදපොලේ හිඟ නිෂ්පාදනයන් ආනයනය කර වෙළදපොළට මුදා නොහරින්නේ ඇයි කියලා. අපි ඔවුන්ට ඒ සදහා ඉඩ ලබා දුන්නොත් ඔවුන් විශාල පරිමානයෙන් ඒවා ආනයනය කර ගබඩා කර තබා අපගේ අස්වැන්න නෙලන කාලතුලදී වෙළදපොලට ඒවා මුදා හැර දේශිය කෘෂි කර්මාන්තය අඩපන කරනවා. ඒ වගේම දේශිය ගොවියා අධෛර්මත් කරන්න අතරමැදි වෙළෙන්දන් ඒ මගීන් උත්සහ කරනවා.

මේ වන විට රාජ්‍ය හා වාණිජ බැංකු වල පොලී අනුපාතයන් අඩු කර එමගීන් ජනතාවට සහන රැසක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. බැංකු පොලී අනුපාත වලින් ජීවත් වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සහන වැඩපිළිවෙලක් නිර්මාණය කිරිමට අප රජය බලාපොරොත්තු වෙනවා.

මධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

13,796 views
Main News