ඇමෙරිකානු සමාගමකට අක්කර 62,500ක් විකුණන්න පරිසර ඇමති ජනාධිපති සූදානම්..

May 25, 2017 at 8:40 am | lanka C news
ඇමෙරිකානු සමාගමකට අක්කර 62,500ක් විකුණන්න පරිසර ඇමති ජනාධිපති සූදානම්..

උක් වගාව සඳහා ඌව-වෙල්ලස්ස – බින්තැන්න ප්‍රදේශයට අයත් පාරිසරික වැදගත්කමින් යුත් අක්කර 62,500ක් ඇමෙරිකා එක්සත් ජනපද සමාගමකට විකුණා දමා සිදු කිරීමට නියමිත පරිසර සංහාරය වහා නවතන ලෙස ඌව-වෙල්ලස්ස, බින්තැන්න ගොවිබිම් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඌව – වෙල්ලස්ස – බින්තැන්න ගොවිබම් සුරැකීමේ ජනතා ව්‍යාපාරය කැඳුවැම්කරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“මේ ආණ්ඩුවේ රාජ්‍ය ව්‍යවසාය විකුණා දැමීමේ ප්‍රතිපත්තිය යටතේ පැල්වත්ත, සෙවණගල සීනි කර්මාන්තශාලා වකුණා දමන්න හදනවා. කන්තලේ උක් වගාව සඳහා වෙන්කර ඇති අක්කර 25,000ට කිසිම කර්මාන්තයක් ගෙන යන්නේ නැහැ. ඒක මුඩුබිමක් බවට පත් කරලා ඉවරයි. එහෙම තියෙද්දී මේ ආණ්ඩුව ඌව වෙල්ලස්ස, බින්තැන්න ප්‍රදේශවල අක්කර 62,500ක් ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාගමට ලබා දීමට සිදුව ඇත්තේ ඇයි? ඔවුන් මේ ආණ්ඩුවට දමන පළමු කොන්දේසිය තමයි, අපට නැවුම් බිමක් දීපල්ලා’ කියන එකයි

ලෝක ඉතිහාසය පුරා උක් වගාව සඳහා වෙනත් රටවලට ආපු බහුජාතික සමාගම් සෑම විටම ඉල්ලා සිටියේ නැවුම් බිමක්, නැවුම් වනාන්තර, නැවුම් පෝෂක ප්‍රදේශ. බ්‍රසීලය, ඉන්දියාව ආදී රටවලින් ඒ සඳහා බොහෝ නිදසුන් ලබා ගත හැකියි. කුප්‍රකට ‘බුකර්ටේට්’ සමාගමත් ලෝකය පුරා අලුත් උක් වගා බිම් සොයා ගිහින් අවසානයේ එදා ඌව – වෙල්ලස්සට ආවෙත් ඒ විදිහට. මේ බහුජාතික සමාගම් දන්නවා ඌව වෙල්ලස්ස කියන්නේ රත්තරන් බිමක් කියලා. එදා එළාරට එරෙහිව දුටුගැමුණු රජතුමා සටන් වදිද්දි සද්ධාතිස්ස කුමාරයා මේ බිම ධන්‍යාගාරයක් බවට පත් කළා. එදා ඒ යුද ජයග්‍රහණයට ඌව – වෙල්ලස්ස ඒ විදියට මහෝපකාරී වුණා.

ඒ නිසා අපි මේ රූකඩ හවුල් ආණ්ඩුවට කියනවා ‘මහත්වරුනි, මේ රත්තරන් බිමට අත තියන්න ලෑස්ති වුණොත් අපි ඒකාබද්ධ විපක්‍ෂය විදියට ඊට මුහුණ දෙන්න සූදානම්’ කියලා. අපි දැනටමත් ‘ඌව – වෙල්ලස්ස, බින්තැන්න ගොවිබිම් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ගොඩනඟලා අවසන්. පළාත් මහා සංඝරත්නය පෙරටුකර ගෙන ප්‍රදේශයේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සභා මන්ත්‍රීවරු, පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු බහුජන සංවිධාන නායකයන් එකතු කරගෙනයි මේ ජනතා ව්‍යාපාරය ගොඩනැඟුවේ. අපි මේ දැවැන්ත ජනතා ව්‍යාපාරය ගොඩනැඟුවේ නිකං අත පිහදා ගන්න නොවෙයි.

ඒ නිසා අපි පරිසර ඇමතිධුරය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට කියනවා‘සහජීවනය’ යහපාලනය හදනවා, ආර්ථිකය, රට ගොඩනඟනවා කියලයි ඔබතුමා බලයට ආවේ. ඒ නිසා ඇමෙරිකා එක්සත් ජනපදයට අක්කර 62,500ක් බිලි දෙන මේ පරිසර සංහාරක කටයුත්ත නතර කරන බවට 2017 ජුනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයේදී ජනතාවට පොරොන්දුවක් ලබා දිය යුතුයි’ කියලා.

මේ ආණ්ඩුවේ ඉන්නවා රීරි යක්කු, මහසෝන් යක්කු, හුනියං යක්කු, සන්නි යක්කු, කළුකුමාර යක්කු ඇතුළු යක්කු ගොඩක්. අපි අහලා තියෙනවා. ‘සමහර යක්කු එලවන්න දුම්මල ගහලවත් බැහැ. නමුත් ඕනෙ යකෙක් එලවන්න යක් දෙස්සාට පුළුවන්’ කියලා. ඒ නිසා මේ අෘණ්ඩුවට අපි කියනවා ‘දුම්මල ගහලවත් එලවන්න බැරි යක්කු ටික එලවන්න අපි සූදානම්’ බව මතක තියා ගන්න කියලා”

මෙම මාධ්‍ය හමුවට විජිත බේරුගොඩ, තේනුක විදානගමගේ යන එම ජනතා ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජිකයෝද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

204 views
Main News