ඇවන්ගාඩ් නඩුවත් නීතිපතිට ඕනෑ හැටියටද?

August 21, 2019 at 8:40 am | lanka C news
ඇවන්ගාඩ් නඩුවත් නීතිපතිට ඕනෑ හැටියටද?

සිව් වසරකට පමණ පසු නැවත වරක් ඇවන්ගාඩ් ප්‍රශ්නය කරළියට පැමිණ තිබේ. ගාල්ල වරායට නුදුරු මුහුදු තීරයේදී ස්වයංක්‍රීය, අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි සහ එම උණ්ඩ සමඟ IMO 8107036 MV ඇවන්ගාඩ් නෞකාව නාවික හමුදාව විසින් 2015 වසරේ ඔක්තෝම්බර් 06 වැනි දින අත්අඩංගුවට ගැනුණි. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන විමර්ශනයට අදාළව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව පවත්වා ගෙන ගියේය.

මෙම ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් වන විමර්ශනයන්ට අදාළව උධෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2016 වසරේ ජනවාරි මස 19 වැනි දින නීතිපතිවරයා වෙත යොමු කර තිබුණු අතර ඊට අදාළව වරින්වර විමර්ශන නිලධාරීන් කැඳවා නීතිපතිවරයා විසින් දෙන ලද උපදෙස් අනුව තවදුරටත් එම විමර්ශන සිදුකර තිබේ.

කෙසේවෙතත් පසුගිය දිනවල මෙම කාරණය සම්බන්ධයෙන් යළිත් අවධානය යොමු වූ අතර එහිදී එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ලෙස කටයුතු කළ සමන්සිරි දිසානායක මහතා සහ දමයන්ති ජයරත්න මහත්මියට නීතිපති දෙපාර්තමේන්තුව විසින් චෝදනා එල්ල විය. ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී සමන්සිරි දිසානායක මහතා අත්අඩංගුවට ගැණුනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති ස්ථාවර දෙකක

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරින් වර මෙලෙස කතා බහ මතු වෙමින් තිබියදී මේ වන විට එකී සිදුවීමට අදාළව ප්‍රශ්න ගත තත්ත්වයක් මතුවන්නේ මෙහි විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ස්ථාවර දෙකක පසුවීමයි.

මේ වන විට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ මෙම කාරණයේ චූදිතයෙකුව සිටින බ්‍රිගේඩියර් පාලිත ප්‍රන්නදු යන අය වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද අත්අඩංගුවට ගැනීමේ නියෝගයද දැන් නැවත හරවා තිබේ.

මෙම කාරණයම මේ නඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් දෙදෙනෙකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර පවත්නා පරස්පර මතය හඳුනාගැනීමට ප්‍රමාණවත් වී තිබේ.

මේ අතර සමන්සිරි දිසානායක මහතාට සහ දමයන්ති ජයසූරිය මහත්මියට එල්ල කර තිබෙන චෝදනා වලින්ද එය පෙන්නුම් කර ඇත.

මෙම ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පවතී මාධ්‍ය හමුවකදී මෙම නඩු කටයුත්තේ ආරම්භයේ සිට කටයුතු කළ නීතිඥ හරිත හෙට්ටිආරච්චි මහතාද මෙකී පරස්පර හැසිරීම පිළිබඳ අවධානය යොමු කළේය.

අවසන් කර තිබෙන නඩු කටයුත්තක් යළි විවෘත කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව උත්සහ කරන්නේ නව විමර්ශන කරුණු හෝ නොමැතිවය යන්න දැන් නීතිපති දෙපාර්තමේන්තුවට එල්ලවෙමින් තිබෙන චෝදනාවයි.

විමර්ශන ආයතන සඳහා උපදෙස් දෙන ආයතනය ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මෙලෙස තමන්ට ඕනෑ හැටියට කටයුතු කිරීමම ප්‍රශ්නයකි.

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ සිදුවීමට අදාළව ඇවන්ගාඩ් මැරිටයිම් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු ඇතුළු 13 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල කර තිබුණි.

එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගැනුණු පසු එම සමාගමේ කටයුතු සැලකිය යුතු ලෙස බිඳ වැටුණු අතර එහි සේවය කළ 5274ක පිරිසකට සිය රැකියාද අහිමි විය. ඔවුන් ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටි තැනැත්තන්ය.

මෙම පාවෙන අවිගබඩාවට අදාළ කාරණයේදී චෝදනා එල්ල වී සිටි සමන්සිරි දිසානායක මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ මෙකී කාරණයට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින අතර එලෙස අත්අඩංගුවට ගැනීමට නීතිමය හා සිද්ධිමය පදනමක් නොමැති බවයි. එහෙත් අත්අඩංගුවට ගැනිමක් සිදුවුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) ව්‍යවස්ථාව ප්‍රකාර ඔහු සතු මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි. එහෙයින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එහෙත් එම අයදුම ඉදිරියට ගෙන යාම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ඇවන්ගාඩ් අවි ගබඩාව නාවික හමුදාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊට එල්ල වූ චෝදනාව වූයේ නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි සන්තකයේ තබා ගැනීමට කුමන්ත්‍රණය කිරීමය.

ඒ අනුව මෙකී කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකු ලෙස දක්වා තිබෙන එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කළ දමයන්ති ජයරත්නට එල්ල කර තිබෙන්නේ විෂය ගත ගිනි අවි සහ ජීව උණ්ඩ සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීමේ වගකීම ඇය විසින් දරා තිබීමයි.

එම රාජකාරියේ ප්‍රථිපලයක් ලෙස 2019 අප්‍රේල් 07 වැනි දින MV Alponso යාත්‍රාවේ තිබූ ගිනි අවි ප්‍රමාණයක් MV ඇවන්ගාඩ් යාත්‍රාව වෙත මාරු කර ගබඩා කිරීම සඳහා ලිපියක් නිකුත් කර තිබෙන බවට නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එම ලිපිය නීතිමය ප්‍රතිපාදනයන් ප්‍රකාරව ගිනිඅවි සහ/හෝ ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීම සඳහා නිකුත් කරන ලද බලපත්‍රයක් සහ/හෝ අවසර පත්‍රයක් නොවුණු බවත් අනතුරුව නිත්‍යානුකූල බලපත්‍රයක් සහ හෝ අවසර පත්‍රයක් ඇවන්ගාඩ් නෞකාවේ තිබූ කිසිදු ගිනි අවියක් සහ හෝ ජීව උණ්ඩ වෙනුවෙන් නිකුත් කිරීමට පියවර නොගත් බවත් නීතිපති දෙපාර්තමේන්තුව දක්වා තිබේ.

පසුගිය ජනවාරි මස 11 වැනි දින නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමුකරමින් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති සැකකරුවන් හය දෙනා සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීම සඳහා උපදෙස් දී ඇති නමුත් එහි දමයන්ති ජයරත්න මහත්මිය සම්බන්ධයෙන් සඳහන් කර නැත.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මුලස්ථානය හා නීතිපති දෙපාර්තමේන්තුව අතර ලිපි හුවමාරු වන අතර නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය ජූලි 10 වැනි දින වැඩබලන පොලිස්පතිවරයාව දැනුවත් කරමින් පවසන්නේ දමයන්ති ජයරත්න මහත්මිය සැකකරුවෙකු ලෙස නම් කිරීමට උපදෙස් දී නොමැති බවයි. එමෙන්ම ඇයගෙන් විමර්ශනයට අදාළව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් ලබා ගැනීම හෝ සිදුව නොමැති බව සඳහන් කර ඇත.

සමන්සිරි දිසානායක මහතාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව දක්වා ඇති වැරදි ද සංඥය නොවන වැරදි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අවසන් “බී” වාර්තාවෙත් සැකකරුවන්ට එරෙහි චෝදනා සනාථ වී නැහැ

එමෙන්ම පසුගිය ජුනි 06 වැනි දිනැති අංක CRI/08/2016 දරන ලිපිය මඟින් නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණේ එම ලිපිය සමඟ අමුණා ඇති උපලේඛනය දක්වා ඇති පරිදි සැකකරුවන්ට එරෙහි චෝදනා අධ්‍යයනය කර එම සැකකරුවන්ට අදාළව ප්‍රකාශ සටහන කර ගන්නා ලෙසය.එම උප ලේඛනයේද දමයන්ති ජයරත්න මහත්මියගේ නම සඳහන්ව නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිවරයාට යොමුකර තිබෙන ලිපියේ දක්වා තිබේ.

ඒ අනුව 2019 ජුනි 15 වැනි දින නිශ්ශංක සේනාධිපතිගෙන් සහ නන්දන දියබලනගේ ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. ජුනි 17 වැනි දින සමන්සිරි දිසානායකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති අතර 19 වැනිදින කරුණාරත්න බණ්ඩා එගොඩවෙලගේ සහ පාලිත ප්‍රනාන්දු යන අය ප්‍රකාශ ලබා දී තිබේ.

එහිදී මෙම සැකකරුවන්ට ඔවුන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේපකරමින් ප්‍රකාශ ලබා දී ඇති බවත් ඒ හැර විමර්ශනයට අදාළව යම් නව කරුණක් හෝ කරුණු සඳහන්ව නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වන්නේ.

නීතිපතිගේ වාචික උපදෙස් පරිදි 2019 06.25 දින විමර්ශන අවසාන කළ බවට විමර්ශන නිලධාරීන් විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අවසන් බී වාර්තාව ඉදිරිපත් කර ඇත. එම අවසාන බී වාර්තාවේ සැකකරුවන්ට එරෙහිව සනාථ වී ඇති වරදවල් විශේෂ කොට දක්වා නැති බවද සඳහන් කරයි.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ සිතැඟි පරිදි හෝ ඔවුන් පසුපස සිටින වෙනත් බලවේගයකට හෝ සැකකරුවන්ට යළි චෝදනා ගොණු කරන ලෙස බලකිරීමේ හැකියාවක්ද නැත.

ඇවන්ගාඩ් නඩුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් අතර දෝලනය වන විට තවත් පසෙකින් වසර හතරක පමණ කාලයක සිට එහි රැකියා අහිමි වූ සේවකයන් 5274ක් තවදුරටත් කබලෙන් ලිපට වැටෙමින් හිඳියි.

පොරොන්දු වූ පරිදි නාවික හමුදාව යටතේ ඔවුන්ට එම රැකියා ද ලැබී නැත. ඔවුන්ගේ ඉල්ලීම් ද පාලකයන් ඇගට ගෙන නොමැති බවට ඔවුන් චෝදනා කරයි.

විමර්ශන ප්‍රතිපලය එසේ තිබියදී 2019. 07. 05 වැනි දින අංක CRI /08/2016 දරන ලිපියෙන් නීතිපතිවරයා දමයන්ති ජයරත්න සහ සමන්සිරි දිසානායක ඇතුළු තැනැත්තන් 08 දෙනෙකුට එරෙහිව 1996 අංක 22 දරන පනතින් සංශෝධිත 1916 අංක 33 දරන ගිනි අවි ආඥා පනතට අදාළව වරදවල් සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම හෝ ඊට අනුබල දීම සිදුකර ඇති බවට ප්‍රමාණවත් කරුණු විමර්ශන සටහන් හා ලේඛනමය සාක්ෂි අධ්‍යයනය කිරීමේදී පෙනී යන බවට දක්වා තිබේ.

එහෙත් පසුගිය ජනවාරි 11 වැනි දින නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දීමෙන් පසු ජූලි 05 වැනිදා උපදෙස් ලබාදෙන අවස්ථාව වන තෙක් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීම හැර වෙනත් විමර්ශනයක් සිදුකර නොමැත. එම ප්‍රකාශයන්ගෙන් විමර්ශනයට අදාළව නව කරුණුද වාර්තා වී නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්වන්නේ එපරිද්දෙනි.

එහෙත් 2019.07.05 වැනි දින නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙන ලිපියෙන් 2019.01.11 දින විමර්ශනයට අදාළව වරදවල් සිදුකර ඇති බවට දක්වා නොතිබුණු ජයරත්න මහත්මියට එරෙහිව වරදවල් අනාවරණය වී ඇති බවට උපදෙස් දී තිබේ. 2019.07.05 දිනැති ලිපියෙන් නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ සමන්සිරි දිසානායක සහ දමයන්ති ජයරත්න යනදෙදෙනාට මෙම ඇවන්ගාඩ් සිදුවීමේ සැකකරුවන් ලෙස නම් කර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

සමන්සිරි දිසානායක කොටු කර ගැනීමට උත්සහ දැරීම

මෙහිදී සමන්සිරි දිසානායක මහතාට එරෙහි චෝදනාවේ ස්වභාවය වන්නේ ප්‍රශ්නගත නෞකාව ආයුධ සමඟ ගාල්ල වරායට රැගෙන ඒමටත් නැවේ තිබූ ආයුධ ගාල්ලේ පිහිටි රක්නා ආරක්ෂක ලංකා ලිමියඩ් සමාගමේ ආයුධ ගබඩාවේ තැන්පත් කිරීමට අනුමැතිය ලබා දෙමින් රාජකාරිමය ලිපියකට අත්සන් තැබීමය. මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී තහවුරු වී ඇත්තේ එවකට සිටි ආරක්ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි මහතා විසින් ඊට අනුමැතිය ලබා දී තිබූ බවය.

එය හෙට්ටිආරච්චි මහතා ද ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබේ.

සමන්සිරි දිසානායක මහතා එකී ලිපියට අත්සන් කිරීමට පෙර දින නාවික හමුදාව විසින් ප්‍රශ්නගත නෞකාව වටලා ඇති බවට නාවික හමුදාපතිවරයා තමන් වෙත දැනුම් දුන් බවද ලේකම්වරයා පවසා ඇත. මේ අනුව සමන්සිරි දිසානායක මහතා කර ඇත්තේ ලේකම්වරයා වෙනුවට අනුමැතිය ලද කාරණයකට අත්සන් තැබීම පමණක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්වා ඇත. එම තත්ත්වය මත සමන්සිරි දිසානායක මහතාට පමණක් චෝදනා කිරීම අපැහැදිලි බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් දක්වා ඇත්තේ.

මේ අනුව නීතිපතිවරයා පවසන පරිදි සමන්සිරි දිසානායක සහ දමයන්ති ජයරත්න යන නිලධාරීන් දෙදෙනාට එරෙහිව දක්වා ඇති වැරදි සම්බන්ධයෙන් කරුණු විමර්ශනයේදී අනාවරණය වී ඇති බවක් නිරීක්ෂණය නොවන බවද දක්වා ඇත.

විමර්ශන තත්ත්වය මෙසේ තිබියදී නීතිපතිවරයාගේ උපදෙස් මත පිහිටා සමන්සිරි දිසානායක සහ දමයන්ති ජයරත්න විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ එම අත්අඩංගුවට ගැනීම යුක්ති යුක්ත කිරීමට ඔවුන් කළ වැරදි සම්බන්ධයෙන් පැහැදිලි දැනීමක් විමර්ශන නිලධාරීන් හට නොමැති පසුබිමක එකී නිලධාරීන් පමණක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද අධිකරණයේ දෝෂ දර්ශනයට ලක්විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිවරයාව වැඩිදුරටත් දැනුවත් කර ඇත.

එහෙයින් ඔවුන් යෝජනා කරන්නේ නීතිපතිවරයාගේ එම චෝදනා සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක උපදෙසක් ඉල්ලා සිටීම සුදුසු බවයි.

මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ස්ථාවර දෙකක සිටින බව පැහැදිලිය. මෙහි විශෙෂත්වයක් වන්නේ සාමාන්‍යයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශන සිදු නොකිරීමයි. ඔවුන්ගේ කාර්ය භාර්යයට එය අදාළ නොවේ. විමර්ශන සිදුකරන්නේ අදාළ විමර්ශන ආයතන පමණි. ඒ අනුව මෙහි විමර්ශන ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. එම විමර්ශනයන්ට වැඩිදුර උපදෙස් දීමත් පසුව ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමත් නීතිපති දෙපාර්තමේන්තුවට පැවරෙන නමුත් මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව පීලි පනින බව පෙනෙන්නට ඇති කාරණයකි.

පැහැදිලි විමර්ශනයන් අභියෝගයට ලක්කිරීමට තරම් නීතිපති දෙපාර්තමේන්තුවට ඇති අවශ්‍යතාව කුමක්ද යන්න මෙහි මතුවන ප්‍රශ්නයයි.

අවසානයේදී නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයද අභියෝගයට ලකක්රමින් හිඳියි.

මෙවැනි ප්‍රශ්නගත කාරණාවලදී විමර්ශන පසෙක තබා යුක්ති සහගත නොවන ලෙස මැද්දට පැනීම කෙතරම් යුක්ති සහගත ද යන්න නීතිපති දෙපාර්තමේන්තුව කිරා මැන බැලිය යුතුය.

ආශිකා බ්‍රාහ්මණ
– lankanewsweb.net

29,687 Viewers

5 Comments to “ඇවන්ගාඩ් නඩුවත් නීතිපතිට ඕනෑ හැටියටද?”

  1. Watchman says:

    නිශ්ශංක සේනාධිපති පසුගියදා ප්‍රකාශ කලේ නාවික හමුදාවේ (ඇතැම් කොටස්) ලිබියාවේ සිරියාවේ ආණ්ඩු පෙරන්න ISIS හා අල්කයිඩා ත්‍රස්තවාදීන්ට ආයුද සපයන්න පටන් ගත් නිසා මෙම ඊනියා රණවිරැවන්ගෙන් ඉස්ලාම් ත්‍ර්‍රස්තවාදින්ට ආයුද සැපයුම නවතාලන්නට ආයුද මුහුද මැද ගබඩා කරන්න පටන්ගත් බවයි.මෙම ඇඟ කිලිපොලා යන හෙලිදරව්වෙන් පසු සහරාන්ලාට ලැබුනේත් මෙම ආයුදද යන සැකය පැන නගී.
    Senadhipathi accuses Navy officers of supplying weapons to ISIS and Al Qaeda – July 12,2019
    Major Nissanka Senadhipathi, Chairman of Avant Garde, alleges that corrupt officers in the Navy ,who are in charge of the safety of the weapons, have sold more than 800 weapons (This is just the number of weapons we know. The actual count may be much higher.) illegally to foreigners for $ 5,000.

    • ග්‍රාමාරක්ෂක says:

      ඉස්ලාම් කැරලිකරැවන් යොදාගෙන ලිබියාවේ සිරියාවේ ආරම්බ කල Regime Change පෙරලියේ මහ මොළකරැවකු වශයෙන් සැලකෙන රොබර්ට් බ්ලේක් හා මෙරට නාවික බලධරයන් අතර වූ සැකකටයුතු සම්බන්දතාව හා ISIS හා අල්කයිඩා ත්‍රස්තයන්ට මෙරටින් ආයුුද සැැපයුවා යන නිිස්ශංක සේනාධිපතගේ එලිදරව්වත් නව මානයකට අපව ගෙන යයි.

      • merata eka says:

        Rajapaksha Libya gihin Gadaffi gen sallith illagaththa..
        ehew gadafige anduwa peralanna lankawe ayuda yodagena..Kelehigunayak nathi ewun mun.

  2. Ariyathilaka says:

    මේ නඩු කටයුත්තට ආදාල නිමිත්ත මුල සිට අධ්‍යනය කිරීමේදී මෙහි චූදිත, චෝදක දේපාර්ශවය ම විනිවිද භාවයෙන් තොර බව අපගේ අදහස ය. දේශපාලන බලය හෝ මුදල් හෝ ඒ දෙයාකාර බලය මත හෝ මෙය සුදු කරපටි වංචාවක් ලෙස දෝලනය වෙමින් තිබෙන බව පැහැදිලය. මෙරට නීති ක්ෂේත්‍රයේ සුපිරිසිදු බව, විමර්ශකයන්ගේ විමර්ශන පිළිබඳ දක්ෂතාව සහ අවංක බව රජය විසින් ජනතාවට ඉටු කළයුතු නීතියේ සාධාරණය මෙය තුලින් අපට ඉදිරියේ බලාගත හැකි වනවා ඇත. “හරි නම් හරි,හෝ වැරදි නම් වැරදි” කුමන ලෙස හෝ එක් තීන්දුවකට පැමිණිය යුතුය. නැති නම් එසේ තීන්දුවකට පැමිණීමට උපකාර පිණිස රජය විසින් විමර්ශන විනිවිද භාවයෙන් යුතුව කාටත් සාධාරණ ලෙස මෙහෙයවීම කළ යුතුය. දැන්නම් මෙහි මුලත් අවුල් සහගතය. මැදත් අවුල් සහගතය. අගත් අවුල් සහගතය. සියල්ල අයාලේ යන සෙයකි. රජය මේ සියල්ලෙහි වගකීම බාර ගත යුතුය.

Main News