ඉදිරි මාස කිහිපයේ මෙරට ආර්ථිකය තවත් කඩා වැටෙනවා.. ජනාධිපතිවරණයෙන් පසු බාර ගන්නේ එහෙම රටක්.. නමුත් ඒ වගකීම මා බාරගන්නවා..

September 28, 2019 at 8:02 am | lanka C news
ඉදිරි මාස කිහිපයේ මෙරට ආර්ථිකය තවත් කඩා වැටෙනවා.. ජනාධිපතිවරණයෙන් පසු බාර ගන්නේ එහෙම රටක්.. නමුත් ඒ වගකීම මා බාරගන්නවා..

ව්‍යාපාරික ජාතික සම්මේලනය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්විනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සම්මේලනය සඳහා ව්‍යාපාරිකයින් රැසක් සහභාගි වූහ.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා

ඔබ දන්නවා අද ලංකාව විශාල ආර්ථික අර්බූදයකට මුහුණ දී තිබෙනා බව. යුද්ධය දරුණු ලෙස පැවති 2001 වසරින් පසු, ලංකාවේ  අඩුම ආර්ථික වර්ධන වේගය වාර්ථා වන්නේ මේ වසරේයි. 2009 හා 2014  අතර කාලය තුල  ලංකාවේ දල ආර්ථික වර්ධන වේගය 6.8% ව තිබුනත් මේ වන විට එය 3% ටත් වඩා අඩුවෙලා.

අද වන විට දකුණු ආසියාවේ දුර්වලම ආර්ථික වර්ධන වේගය තිබෙන්නේ අවාසනාවකට ලංකාවේයි. අප ඉන්නේ ත්‍රස්තවාදයෙන් නිරන්තරයෙන් බැටකන ඇෆ්ඝනිස්තානයටත් පිටුපසින්. 2009 -2014  පස් වසර තුල ඒක පුද්ගල ආදායම  ඩොලර්  1767 කින් වැඩිවුනත් ,2015 ජනවාරි වලින් ආරම්භ වූ වසර 5 ක කාලය තුල ඒක පුද්ගල ආදායම වැඩි වී තිබෙන්නේ ඩොලර් 250 කට අඩු ප්‍රමාණයකින් .

මේ ආර්ථික පරිහානිය සෑම ක්ෂේත්‍රයකටම බලපා තිබෙනවා. එක පැත්තකින් සාමාන්‍ය ජනතාවගේ ජීවන බර අහස උසට වැඩිවෙලා. මිනිසුන්ගේ අතේ මුදල් නැහැ ගමේ සිල්ලර බඩු කඩයෙන් වෙනදා වගේ බඩු භාන්ඩ මිළදී ගන්න.

තොග වෙළෙන්දන් අත මුදල් නැහැ. ඔවුන්ට වෙළදාමට අවශ්‍ය තරම් තොග රඳවා ගන්නට හැකියාවක් නැහැ. වෙනදා වගේ බැංකු වලින් ඔවුන්ට ණය පහසුකම් ලැබෙන්නේ නැහැ. ස්වයං රැකියා කරන නිශ්පාදකයන්ට, අද ඔවුන්ගේ භාන්ඩ විකුණා ගන්නට වෙළදපොළක් නැහැ.

පිටරටින් නිදහසේ කෘෂි නිශ්පාදන ආනයන කරන්නට රජය ඉඩ දී ඇති නිසා තේ, රබර්, පොල්, ගම්මිරිස්, කරුංකා හා තවත් අපනයන භෝග රාශියක මිළ කඩා වැටිලා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංචාරක ව්‍යාපාරය බිඳ වැටිලා. සංචාරක ක්ෂේත්‍රය තුල ස්වයං රැකියා හා සුළු ව්‍යාපාර කල අය සම්පූර්ණයෙන්ම අසරණ වෙලා.

සංචාරකයන්ගේ අඩුව මැණික් කර්මාන්තය, හස්ත කර්මාන්තය  ඇතුලු තවත් කර්මාන්ත ගනනාවකට ඍජුවම බලපාලා තිබෙනවා. රුපියල බාල්දු වීම නිසා ආනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාර කඩා වැටිලා. උදාහරණයක් වශයෙන් ලංකාවට වාහන ගෙන්වීම විශාල වශයෙන් අඩු වෙලා. ගෙන්නපු වාහනත් විකුණා ගන්නට බැහැ. ගැනුම්කරුවෝ නැහැ ඒ මිළ ගනන් වලට වාහන ගන්න.

ඉතා හොඳින් දියුණු වෙමින් පැවතුන ඉදි කිරීම් කර්මාන්ත  අද බිඳ වැටිලා. එක පැත්තකින් එදා ඇරඹූ මහා පරිමාණ ව්‍යාපෘති නතර වෙලා. කරපු වැඩ වලටවත් මුදල් ලැබෙන්නේ නැහැ.

වෙලාවට මුදල ලැබෙන්නේ නැත්නම් ඉදිකිරීම් කර්මාන්තය පවත්වාගෙන යන්නට අමාරුයි. අනෙක් අතට කිසිදු සීමාවකින් තොරව ලංකාවට එන විදේශීය කොන්ත්‍රාත් කරුවන් සමඟ තරඟ කරන්නට අපේ කොන්ත්‍රාත්කරුවන්ට සිදුවෙලා. ඔවුන් සමඟ තරඟකාරී ලංසු තබන්නට දේශීය ව්‍යාපාරිකයන් අත මුදල් නැහැ.

පාඩු ලබන ව්‍යාපාර දහස් ගනනක් මේ වසර කිහිපය තුල වසා දැමුනා. බොහෝ  ව්‍යාපාරිකයන්ගේ දේපල බැංකුවලින් වෙන්දේසි කරනවා. ව්‍යාපාරිකයන්  ණය බරින් මිරිකිලා. පොලී අනුපාතයන් ව්‍යාපාර වලට දරා ගන්න බැරි තරමට වැඩිවෙලා. බොහෝ ව්‍යාපාරිකයන්ගේ නම් Crib  (අසාදු ලේඛණයේ) එකේ තිබෙනවා සුළු ගනුදෙනු නිසා. ඔවුන්ට වැඩි පොලියටවත් බැංකු වලින් අද ණය දෙන්නේ නැහැ.

මේ අතර රජය සෑම පැත්තකින්ම ව්‍යාපාරිකයා මත බදු වැඩිකරලා. රටේ මුදල් සංසරණය ඉතාම දුර්වල වෙලා. මාස ගනන් පහුවෙලා හෝ තමන් අලෙවි කල භාන්ඩයකට හෝ සේවාවකට  චෙක්පතක් ලැබුන විට ඒ ගැනත්  විශ්වාසයක් නැහැ. අගරු චෙක්පත් කියන දේ අද සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.

මේක තමයි අද ආර්ථිකයේ යථාර්ථය . ඉදිරි මාස කිහිපය තුල මේ  ආර්ථිකය තවදුරටත් කඩා වැටෙනා බවට සැකයක් නැහැ. ජනාධිපතිවරණයෙන් පසු නව රජයකට වගකීම්  බාරගන්නට සිදුවෙන්නේ මෙවැනි වාතාවරණයක් තුලයි.

නමුත් අපට වගකීමක් තිබෙනවා මේ ප්‍රශ්ණ වලට කඩිනම් විසඳුම් සපයා ආර්ථිකය යලි ගොඩ ගන්නට. පසුගිය කාලය පුරා අපි මේ සඳහා විවිධ විද්වතුන්, ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් සමඟ සාකච්ඡා කරමින් අනාගත රජයක ආර්ථික කළමණාකරන වැඩපිළිවෙල සකස්කලා.

අප සකස් කල ජනතා කේන්ද්‍රීය ආර්ථික දැක්ම ව්‍යාපාරිකයන් වන ඔබට බලපාන හැටි ගැන පැහැදිලි කිරිමට මම කැමතියි. රටේ අනාගත ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තුල පුද්ගලික ව්‍යවසායකයන්ට විශාල කාර්යභාරයක් පැවරෙනවා. ආර්ථිකයේ පෙරගමන් කරුවන් විය යුත්තේ ඔබයි. ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම, ආයෝජනයන් හරහා නව කර්මාන්ත බිහිකිරීම,  රැකියා උත්පාදනය හා රටට නව තාක්ෂණය හඳුන්වාදීම වැනි ව්‍යාපාරිකයන් විසින් කල යුතු දේ බොහෝමයක් තිබෙනවා.

රට තුල නිශ්පාදනය කරනා සෑම භාන්ඩයකම හා සපයන සෑම සේවාවකම ගුණ තත්වය ඉහල මට්ටමකින් පවත්වා ගැනීමට ඔබ කටයුතු කල යුතුයි.  අපි හැමවිටම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීමට උත්සාහ කල යුතුයි. දේශිය මෙන්ම ගෝලීය ප්‍රවණතා හඳුනාගෙන, ඒවා ව්‍යාපාරික අවස්ථා බවට හරවා ගන්නට අපි කටයුතු කල යුතුයි.

අපේ රටේ සුවිශේෂී භූගෝලීය පිහිටීමෙනුත්, අපිට බොහෝ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරගත හැකියි. ලෝකයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා තියෙන්නේ ආසියාවයි. ආසියානු රටවල් සීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඒ භූගෝලීය පිහිටිම තුළයි.

පසුගිය රජය වරාය හා ගුවන් තොටුපොලවල් සංවර්ධනයට විශේෂ අවධානයක් යොමුකලේ ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපය තුල ප්‍රධාන සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිවයි. අපි එදා හම්බන්තොට වරාය හදන අවස්ථාවේ අපිට ඒ හරහා වෙළෙද කේන්ද්‍රස්ථානයක් බවට රට පත් කිරීමේ සැලසුමක් තිබුණා. වරාය අධීකාරිය විශාල වශයෙන් ලාභ ලබන ආයතනයක් විදියටි තිබුනේ. ඒ හරහා ඇති කරන කර්මාන්තපුරය හරහා අපේ පාලනය යටතේ විශාල ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්නත්, ව්‍යාපාර ඇති කරන්නත් , රැකියා ඇති කරන්නත් අපිට අවශ්‍ය වුනා. එහෙත් පසුගිය වසර කිහිපය තුල මේ සඳහා දැක්වු අවධානය අඩු වීම නිසා අපගේ මුල් ඉලක්කයන් සපුරා ගන්නට නොහැකි වුනා.

කෙසේවෙතත් ඉදිරියේදී කොළඹ හා කටුනායක අශ්‍රිතවත් මත්තල හා හම්බන්තොට ආශ්‍රිතවත් සියලු පහසුකම් වලින් සමන්විත සේවා සැපයුම් මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට  අපි බලාපොරොත්තු වෙනවා. මේවා ඔබට ඉදිරියේදි ආයෝජන අවස්ථාවන් වෙනවා. රජයක් ලෙස ආයෝජන අවස්ථා ඇති කිරීමේ වගකීමක් තිබෙනවා.

විසිතුරු මල් වවන්නන් වසර ගණනාවක් විහාර මහාදේවී උද්‍යානයේ මල් පැල විකුණුවා. අපි දියත උයන ආශ්‍රීතව ඒ සදහා සුදුසු, ජනතා ආකර්ශනය ඇති වන ලෙස ස්ථානයක් හැදුවා. අසූවකින් පටන් ගත්ත ඒ ව්‍යාපාරික ස්ථානයේ අද වෙන කොට දෙසීය දෙනෙක් පමණ ව්‍යාපාර කරනවා.තවත් ස්ථාන අපි ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර සදහා සුදුසු ස්ථාන බවට පත්කළා. ව්‍යාපාර සදහා අපි අවස්ථාව හදා දුන්නා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යාපාරකයින්ට සුදුසු පක්ෂයක් නෙවෙයි කියලා තිබුණු මතය නැති කරන්න අපි කළ කටයුතු හේතු වුනා.

අපනයන වෙළඳපොල තුල අපට තව බොහෝ දේ කරන්නට තිබෙනවා. අපේ රටේ භාන්ඩ හා සේවාවන් ජාත්‍යන්තර වෙළඳ පොලට ගෙන යන්නට අපි හැකි රජයක් ලෙස සහාය දෙනවා. ලංකාවට විදේශ විනිමය ගෙන එන ව්‍යාපාරිකයන්ව අප විශේෂයෙන්ම අගය කල යුතුයි. ඔවුන්ව දිරිමත් කිරීමට  සහන සැලසිය යුතුයි. මෙරටින් අපනයනය කරන සෑම භාන්ඩයකටම අගය එකතු කිරීමෙන්,  ආදායම  වැඩිකර ගැනීමට අපි උත්සාහ කල යුතුයි.

උදාහරණයක් වශයෙන් පතලකින් සොයාගත් මැණිකක් අගය එකතු නොකොට විකුණනවාට  වඩා  ආදායමක් අපිට උපයන්න පුලුවන් ඉන් ආභරණයක් සෑදීමෙන්. ඉන්දියාව ඩුබායි වලින් බිලියන ගණනක රත්තරන් ගෙනත් ස්වර්ණාභරණ සකස් කර නැවත ඩුබායි වලට යවලා විශාල වශයෙන් ආදායමක් උපයනවා. එවැනි දේ සදහා අපිට අවස්ථාව තිබෙනවා. අපේ ඛනිජ සම්පත් වලට අගය එකතු කිරීමෙන් දැනට උපයනවාට වඩා දස ගුණයක පමන ආදායමක් උපයන්න පුළුවන්. අපේ තේ , කුරුඳු වැනි අපනයන භෝග සම්බන්ධයෙනුත් තත්වය එහෙමයි. හොඳට ඇසුරුම්කොට වෙළඳ  සන්නාම යටතේ අලෙවි කිරීමෙන් අපට වැඩි ආදායමක් උපයන්න පුලුවන්. මේ සඳහා හොඳ උදාහරණ කිහිපයක් අපට දැනටමත් තිබෙනවා.

ඇගැලුම් වැනි ජාත්‍යන්තර ප්‍රමිතියේ භාන්ඩ රැසක් අපි දැනටමත් මෙරට නිශ්පාදනය කලත් ඒවා වෙළඳපොලට යන්නේ විදේශ සන්නාම යටතේයි. ඉදිරියේදී අපේම වූ වෙළඳ සන්නාම වැඩි වැඩියෙන් විදේශ වෙළඳපොලට හඳුන්වාදීමට අපි උත්සුක විය යුතුයි. මේ ශතවර්ෂය ඥානය මුල් වූ ශත වර්ෂයක්. ලංකාවේ සංවර්ධනයේ යෝධ ඉදිරි පිම්මක් පනින්නට තාක්ෂණය භාවිතය ඉතාම වැදගත්. ඒ නිසා රටට නව තාක්ෂනයන් හඳුන්වාදීමට ව්‍යාපාරිකයන් පෙරමුණ ගත යුතුයි.

නවෝත්පාදන දිරි ගැන්වීම,  තරුණ ව්‍යවසාකයන් හා කලමණාකරුවන් පුහුණු කිරීම වැනි කාරණා රාශියකදී ඔබට මේ රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් සපයන්න ඔබට පුළුවන්

අපේ ඉදිරි රජයක් හරහා ඒ සදහා අවශ්‍ය සෑම සහායක්ම මූල්‍ය වශයෙන් හෝ යටිතල පහසුකම් සංවර්ධනය අතින් හෝ වේවා ලබා දෙනවා. ව්‍යාපර දියුණණු කිරීමට පරිසරය අපි සකසා දෙනවා. මේ සියල්ල අපි කරන්නේ අපේ ඉදිරි අනාගත පරපුර වෙනුවෙන්. ජාතික ප්‍රතිපත්තිය තුල තිරසාර පරිසර ආරක්ෂනයට  විශේෂ අවධානයක් යොමුවෙනවා. හරිත පරිසරයක් අති කිරීම තුළින් විදේශීය රටවල ආකර්ශනය දිනාගත හැකියි.

අපි උදාකර ගත යුත්තේ  අනාගත පරපුරටද ප්‍රතිපල බුක්ති විදිය හැකි තිරසාර සංවර්ධනයකුයි. අප අද කරනා සෑම ආයෝජනයක්ම අනාගත පරපුරට බලපානා ආකාරය ගැන අප සංවේදි විය යුතුයි. ඒ නිසා ඔබේ ව්‍යාපාර කරගෙන යාමේදීත්  පරිසරයට ඇති බලපෑම ගැන  හැම විටම සැලකිලිමත් වන ලෙස මම ඉල්ලා සිටිනවා.

මේ රජය පසුගිය කාලයේ නොසලකා හරිනා ලද කෘෂිකර්මාන්තය අපි යලි නගා සිටවිය යුතුයි. අපිට කෘෂිකරමාන්තය අමතක කරන්න බැහැ. ඉදිරි අනාගතයේදී ආහාර ආරක්ෂිතතාවය වැදගත් වෙනවා. ආහාරවලින් ස්වයංපෝෂිත වීම මේ නිසා වැදගත්. අපේ රජයක් තුළ කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ වගේම පිටරට කෘෂි නිශ්පාදන කිසිදු නියාමනයකින් තොරව ලංකාවට ආනයනය කිරීම අපි සීමා කරනවා.

විශේෂයෙන්ම වස විසෙන් තොර කාබනික කෘෂි නිශ්පාදන අපනයනය සඳහා විදේශ වෙළඳපොල තුල නමක් දිනා ගන්නට අපි උත්සාහ කල යුතුයි. නමුත් අපට  මේ ක්ෂේත්‍රය තුල සැබෑ වෙනසක් කරන්නට නම් කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණය භාවිතය අත්‍යාවශ්‍ය වෙනවා. ඵලදායිතාවෙන් හා ගුණත්ත්වයෙන් උසස් ඉහල ආර්ථික වටිනාකමක් ඇති කෘෂිකාර්මික ව්‍යවසායකයන්  පිරිසක් ඉදිරියේදී බිහිවෙනවා දැකීම අපේ අපේක්ෂාවයි. කෘෂිකර්මාන්තයේ යෙදෙන අයගේ ඵලදාව නිසි ලෙස වෙලදපොලට යවා ගන්න බැරිව, නිසි ඇසුරුම් ක්‍රම නැති නිසා, සීත ගබඩා නැති නිසා ගොවීන් අපහසුතාවයට ලක් වෙනවා.

යුද්ධය නිසා පැවැති රජයන්වලට යටිතල පහසුකම් සංවර්ධනය කරන්න හැකි වුනේ නැහැ. 2005 – 2014 කාලයෙ අපෙ රජය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල අවධානයක් යොමුකලා. අපට උවමනා උනේ කඩිනමින් මේ යටිතල පහසුකම් ගොඩනංවා ව්‍යාපාරිකයන්ට තම ව්‍යපාර සාර්ථකව කරගෙන යාමට උපකාරී වීමට හා සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසුකරන්නටයි. නමුත් පසුගිය කාලයේ වූ ප්‍රමාදයන් නිසා අප ඒ පටන් ගත් සමහරක් ව්‍යාපෘති වලින් තවමත් නිසි ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වෙලා නැහැ.

තවමත් නිම වී නැති කොළඹ පිට වට රවුම අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගි මාර්ගය නිසා විශාල ආයෝජනයක් කොට ඉදිකල අධිවේගී මාර්ග පද්ධතියේ නිසි ප්‍රයෝජන ගන්නට රටට නොහැකි වී තිබෙනවා. මෙසේ  අර්ධ අවසාන වූ යටි තල පහසුකම් කඩිනමින් සාදා නිම කිරීමෙන් පමනයි ඒවායේ අපේක්ෂිත මුල් අරමුණු ඉටුකරගන්නට පුලුවන් වන්නේ.

අපට අවශ්‍ය සංවර්ධනය හැකිතාක් දුරට රට පුරා ව්‍යාප්ත කරන්නයි.  ඔබට ලංකාවේ ඕනෑම තැනක පහසුවෙන් ව්‍යාපාර කරන්නට පුළුවන් විය යුතුයි. ලංකාවේ ඕනෑම තැනක නිශ්පාදනය කරනා භාන්ඩ කඩිනමින් වෙළඳ පොලට ගෙන යන්නට පහසුකම  අපි සකස් කර දෙනවා.

තරුණ පරපුර හැකියාව ඇති නිපුණත්වය ඇති ශ්‍රම බලකායක් ලෙස පුහුණු කළ යුතුයි. එමෙන්ම රට පුරා අධිවේගී අන්තර්ජාල පහසුකම් හා අධි තාක්ෂ්ණික සංනිවේදන පහසුකම් ලබාදීම ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රමුක අවශ්‍යතාවක් ලෙස අපි දකිනවා. මේ මගින් රැකියා හා ව්‍යාපාරික අවස්ථාවන් සොයා තරුණ තරුණියන් නගරයට එනවා වෙනුවට  ගම්වලම සිට රැකියා කරන්නට හා ව්‍යාපාර ආරම්භ කරන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.

ජාතික ආරක්ෂාව ඉතාම වැදගත්. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම අනාගතයේ අප පිහිටුවන රජයක මූලික වගකීමක් ලෙස මා දකිනවා. ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර නිදහසේ කරගෙන යාම සඳහා ත්‍රස්තවාදය නැති,  හොරමැරකම්, කප්පම් ගැනීම්  නැති, වංචා දුෂණ නැති පරිසරයක් , සමාජයක් අවශ්‍යවෙනවා. ඔබට ඔබේ ව්‍යාපාර කරගෙන යාමට අවශ්‍ය කරන  ඒ සුරක්ෂිත වටපිටාව සකස් කර දෙන බවට මම සහතික වෙනවා.

අපි දන්නවා පසුගිය වසර කිහිපය තුල මේ රටේ බදු ප්‍රතිපත්තිවල විශාල වෙනසක් සිද්ධවුනා. වසර 100 කට වඩා පැරණි ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙමින් ආ බදු ක්‍රමවේදය වෙනුවට වෙනත් රටකට ගැලපෙන ලෙස සකස් කරනා ලද ආගන්තුක බදු පනතක් ජනතාව මත පටවා තිබෙනවා. මේ සංකීර්ණ බදු ක්‍රමවේදය නිසා අද ව්‍යාපාරිකයන් මෙන්ම බදු ගෙවන සියලූම පුරවැසියන් අසීරු තාවයට පත් වෙලා තිබෙනවා. අළුතින් පනවා ඇති සමහරක් බදු ඉතාමත්ම අසාධාරණ බව අපේ හැඟීමයි. ජනතාවගෙන් බදු අයකරලා සැලැස්මක් නැතිව වියදම් කරන එකයි මේ රජය කරන්නේ.

අපේ රජයක් මගින් ජනතාව මත බදු බර අඩු කරනවා පමනක් නොව පවතින බදු ක්‍රමය සරල කරන්නට  අපි බලා පොරොත්තු වෙනවා. ව්‍යාපාරිකයින් ඇති කරන රැකියා අවස්ථා නිසයි ආර්ථිකය ඉදිරියට යන්නේ. තමන්ගේ ආදායම නැවත ආයෝජනය කරන්න අවස්ථාව නොදී බදු පිට බදු ගැසීම අනුමත කරන්න බැහැ. වසරින් වසර බදු ප්‍රතිපත්ති වෙනස්වීම ගැන බිය නොවී ඔබේ අනාගත ව්‍යාපාර සැලසුම් කරන්නට උදව් වන ස්ථාවර බදු ප්‍රතිපත්තියක් ඔබට හඳුන්වා දෙන්නට අපි බලා පොරොත්තු වෙනවා

ව්‍යාපාරිකයා හා බැංකු පද්ධතිය එකිනෙකාට ඉතා සමීපයි. බැංකුවකින් අප බලාපොරොත්තු වන්නේ ව්‍යවසායකයා දිරි ගැන්වීම විනා ඔහුව අධෛර්යමත් කිරීම නොවේ. වර්තමානයේ බැංකු පද්ධතිය මත රජය මගින් පනවා ඇති සීමාවන් අධ්‍යයනය කොට රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ධනාත්මකව උපකාරී වන ආකාරයට එම දැඩි නීති හා රෙගුලාසි සංශෝධනය කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

දක්ෂ අවංක ව්‍යාපාරිකයෙක් රජයෙන් මූලිකව බලාපොරොත්තු වන්නේ පහසුකම් සපයන්නෙකුගේ කාර්ය භාරයයි. ඔහු රජයෙන් සහන බලාපොරොත්තු වන්නේ නැහැ. විශේෂ උදව් උපකාර බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් තමුන්ගේ ව්‍යාපාරය නිසියාකාරව කිරීමට අවශ්‍ය පොදු යටිතල පහසුකම් හා අවශ්‍ය අනුමැතීන් කඩිනමින් ලබා දෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වෙනවා

අද ව්‍යාපාරිකයෙකුට  ආයෝජනයකට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට ආයතන ගනනාවකට යන්නට සිදුවී තිබෙන්නේ. වර්ථමානයට ගැලපෙන ආකාරයට රටේ නීති අණපනත් යාවත්කාලීනවෙලා නැති නිසයි. නිලධාරිවාදය, ආයතනික අකාර්යක්ෂමතා  මෙන්ම අල්ලස් හා දූෂණත් මේ ප්‍රමාදයන්ට බලපානා බව අපි හඳුනාගෙන තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට සඳහා නීති හා රෙගුලාසි ප්‍රතිසංස්කරනය මෙන්ම ඊ තාක්ෂණය භාවිතයෙන් අන්තර්ජාලය හරහා කඩිනමින් අනුමැතීන් ලබා දීමේ පාරදෘශ්‍ය ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙන්නට බලා පොරොත්තු වෙනවා. අපි මේදේවල් කියනවා වගේම කරලත් පෙන්වූ පිරිසක්.

ඔබයි අපේ ජීවය. මේ රට නැවතත් ගොඩ නගන්න අප සමග එක්වන්නැයි ඉල්ලනවා. ඔබේ ව්‍යපාර ඉදිරියට කරගෙන යා හැකි රජයක් බිහිකරන බවට සහතික වෙනවා.

– GR media

92 views

6 Comments to “ඉදිරි මාස කිහිපයේ මෙරට ආර්ථිකය තවත් කඩා වැටෙනවා.. ජනාධිපතිවරණයෙන් පසු බාර ගන්නේ එහෙම රටක්.. නමුත් ඒ වගකීම මා බාරගන්නවා..”

  1. ebert says:

    This great so called Economist has forgotten how they handed over the Govt to UNP in 2015. He should take Tuition from the other so called Economist Bandula and learn how to feed the the masses with 2500/=

    • Albert says:

      Looks like you’ve forgotten. Take a look at the central bank reports which were produced by your people, then you’ll see.

  2. Kali says:

    මේ මනුස්සයා ඇත්තටම තමන්ගේ සීමාව ඇතුලේ දේවල් කරලා පෙන්නපු කෙනෙක් නිසා මේවා වචන විතරක් නෙමෙයි කියලා හිතනවා. මේ දැක්ම ක්‍රියාවට නංවන්න අවස්තාවක් ලැබුනොත් ඒ අපේ වාසනාවට. නමුත් අවාසනාවට අපේ රටේ ඉන්නේ තහඩු ෂිට් එකට වැසිකිලි පොච්චියකට වෙන්දේසි වෙන ජනතාවක්.

  3. Born Thief says:

    ඇත්ත කතාව… ඡනතාවඟේ බදු සියල්ල යන්නේ පවුල නඩත්තු කරන්නයි ප්‍රින්ස් නොන්ඩි නාමල්ට දළඳා මාලිඟාව වටේ රෑට රේස් පඳින්නයි.. සත්තයි!

    • Kadiya says:

      මේ මෝඩ කථා තමුන්ගේ බුධියේ සහ දැක්මේ දිග පළල කොතරම් පටුද කියා පෙන්වනවා. වරක් ලෝක පූජිත මෝටර් රථ ධාවකයකු සහ නියම දේශප්‍රේමීයකු වන නිලන්ත මාලගමුව ප්‍රකාශ කරලා youtube එකේ තිබුණා කාල්ටන් මෝටර් රථ සමාජය කරපු ඒ ධාවන තරඟ ශ්‍රී ලංකාවට සහ අපේ සංචාරක ව්‍යාපාරයට කොතරම් විශාල ප්‍රචාරයක් ගේනවද කියල. ඒ වගේම වැයකරපු මුදල සහ එහි ප්‍රතිලාභ කොතරම් විශාලද කියල. නමුත් ලිඳේ ඉන්න ගෙම්බන් හා සමාන අපතයන්ට ඕන රට ලබන දියුණුව නොවේ මෝඩ චූන් පමණයි.

Main News