ඉදිරි මැතිවරණ වත්මන් රජය ජයගැනීම ස්ථිරයි..

April 11, 2018 at 12:00 pm | lanka C news
ඉදිරි මැතිවරණ වත්මන් රජය ජයගැනීම ස්ථිරයි..

ජනතා සහාය මත වසර 2020 පැවැත්වෙන මැතිවරණය වත්මන් රජය ජයගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අලුත්ගම නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “රජයේ ගැටලු තිබුනත් ඒවා විසදා ගත යුතුයි. රටේ ජනතාවට නිදහස ලබාදුන් රජය විනාශ කරන්නේ නැහැ. විශ්වාසභංග අර්බුදයට සාර්ථකව මුහුණ දුන්නා. එය හරියට කුමන්ත්‍රණයක් වගෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අමාත්‍යවරු, මන්ත්‍රීවරු සහභාගි කරවා ගනිමින් පරාජය වැළැක්වූවා. අන්තිම ඡන්ද ප්‍රතිඵල මගින් අග්‍රාමාත්‍යවරයා ජයග්‍රහණය කළා. ජාතික මැතිවරණයක් ලෙස විජයග්‍රහණය ලැබුවා. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ අයටම එය භූමරංගයක් වුනා.

පසුගිය රජය සමයේ සිදු වූ දුෂණ, වංචා සෙවීමේ පරීක්ෂණ සෙවීමේ වැඩපිළිවෙල සාර්ථකව සිදු වෙනවා. ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. මනුෂ්‍ය ඝාතන රැසක තොරතුරු ලැබෙනවා. එම දුෂණ, වංචා, මනුෂ්‍ය ඝාතන වලින් බේරීම සදහා තමයි මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ. පසුගිය රජයේ නායකයින් ජිවිතයත්, මරණයත් අතර සටනක ඉන්නේ. රජය විසින් ආරම්භ කළ ජනතාවාදී වැඩපිළීවෙල ඉදිරියට ගෙන යා යුතුයි. මෙතෙක් නොගත් තීන්දු තීරණ ගත යුතුයි.

උතුරේ ජනතාවගේ ප්‍රශ්ණ විසදීමට පියවර ගත යුතුයි. දකුණේ ජනතාව මෙන් සමාන ජන කොට්ඨාසයක් ලෙස උතුරේ ජනතාවත් සැළකිය යුතුයි. විශ්වාසභංගයේ දී හෝ වෙනත් අවස්ථාවක දී උතුරේ දේශපාලනඥයින් සමග අපි කිසිදු ගිවිසුමකට අත්සන් කර නැහැ. ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළේ. නමුත් ජාතික ගීය ගායනා කරමින් තමයි උතුරේ ජනතාව විවේචනය කරන්නේ. සියලුම ජනතාව එකට ගමන් කිරීමෙන් ජය ගන්න පුලුවන්.”

– ප‍්‍රසන්න අධිකාරි

26 views