ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු උතුරු මුහුදේදී අත්අඩංගුවට…

March 27, 2019 at 2:04 am | lanka C news
ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු උතුරු මුහුදේදී අත්අඩංගුවට…

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් උතුරු මුහුදට ඇතුල් වූ ඉන්දීය ධීවරයින් එකළොස්දෙනෙකු (11) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට ගනු ලැබීය.

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර ‍නෞකාවක් මඟින් යාපනය අනලතිව් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි ඉන්දීය ධීවරයින් පිරිස හා ට්‍රෝලර් යාත්‍රා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රා මෙන්ම ඉන්දීය ධීවරයින් ඇල්ලූ මසුන් තොගයක්ද ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

එමෙන්ම, නාවික හමුදාව නිරන්තරව සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් පසුගිය ‍මාර්තු 23 වන දින ද මෙවැනි ආකාරයට නීති විරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් එකළොස් දෙනෙකු (11) සහ ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

501 Viewers
Main News