ඉන්ධන මිල සූත‍්‍රයේ මහා ප්‍රෝඩාව හෙලි වෙයි.. ජනාධිපතිත් නොදන්න ඉන්ධන මිල සූත‍්‍රයේ රහස මෙන්න..

September 26, 2018 at 12:01 am | lanka C news
ඉන්ධන මිල සූත‍්‍රයේ මහා ප්‍රෝඩාව හෙලි වෙයි.. ජනාධිපතිත් නොදන්න ඉන්ධන මිල සූත‍්‍රයේ රහස මෙන්න..

පිිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පල කලේය.

මිල සූත්‍රය ඉල්ලා මුදල් අමාත්‍යාංශයට යැවූ ලිපියට මුදල් අමාත්‍යාංශයෙන් පිලිතුරක් ලැබී තිබෙනවා. රාජ්‍ය මූල්‍ය ප්‍රථිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක W.G.D.C.D.S. රාජකරුණා මහතා ලිපියක් එවා තිබෙනවා. ඒ ලිපියේ සදහන් කරලා තියෙන්නේ තොරතුරු දැනගැනීමේ පනතේ 5.1 (ඇ) 4 වන උප වගන්තිය යටතේ ඉන්ධන මිල සූත්‍රය අනාවරණය කිරීම මගින් බලශක්ති වෙළද පොළේ ඉදිරි මිළ ගණන් පුරෝකතනය කිරීමට ඇතුලත්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල අගතියක් ඇතිවිය හැකි නිසා ලබාදිය නොහැක බවයි. මට කියන්න තිබෙන්නේ බම්බුව කියලා තමයි.

ආණ්ඩුව පවසන්නේ මාස් පතා ඉන්ධන මිල වැඩි කරන්නේ “ඉන්ධන මිල සූත්‍රය“ නම් අබිරහස් ක්‍රම වේදය අනුව බවයි. පුදුමය නම් මෙම සූත්‍රය පිළිබඳ කිසිවෙක් කිසිම දෙයක් නොදැන සිටීමයි. ඇමති මණ්ඩලය එය නොදන්නා බව මහින්ද සමරසිංහ ඇමතිතුමා කියනවා. “මිල සූත්‍රය හඳුන්වා දුන් දින සිට ඉන්ධන මිල ඉහළ යෑම පමණක් සිදුවීම පිළිබඳ මම ඉන්නේ කනස්සල්ලෙන්“ කියලා ජනාධිපති කිව්වා. ඒකෙන් පෙනෙන්නේ ජනාධිපතිතුමාත් මිල සූත්‍රය නොදන්නා බවයි. දැන් මම ඒක ඉල්ලුවාම “බුදු අම්මෝ ඒක නම් දෙන්න බැරියෝ“ කියලා මුදල් අමාත්‍යාංශය කියනවා.

මුදල් අමාත්‍යාංශය මෙම සූත්‍රය සඟවා ගෙන සිටින්නේ ඇයි? මිට හේතු දෙකක් තිබෙන්න පුළුවන්. පළමු හේතුව තමයි මිල සූත්‍රයක් තිබෙන බවට මුදල් අමාත්‍යාංශය පැවසුවත් ඇත්තටම එවැනි සූත්‍රයක් නොතිබීම. ඇත්තටම එවැනි සූත්‍රයක් සකසා නොමැති නම් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලූ පමණින් නිලධාරින් ඒක දෙන්නේ කොහොමද? දෙවැන්න තමයි ඒක අතාර්කික බැවින් ඒක හෙලි කිරීමට නොහැකි වීම. ඇත්තෙන්ම ලෝක තෙල් මිලේ වෙනස් වීම් සහ අපේ තෙල් මිල වෙනස් කිරීම් අතර තාර්කික සම්බන්ධයක් නැති නිසා මිල සූත්‍රයක් තිබුණත් ඒක තාර්කික වෙන්න බෑ.

ආණ්ඩුව ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න පොරොන්දු වුණේ පසුගිය ජනපතිවරණයේ දී. නමුත් 2018 වන තුරුම කලේ නෑ. ඛණිජ තෙල් ඇමතිතුමා විසින් ඉන්ධන මිල සූත්‍රයක් ඉදිරිපත් කරන්න 2015.12.30 දින ඉදිරිපත් කළ අංක 15/2038/746/011 දරණ ඇමති මණ්ඩල පත්‍රිකාව අනුමත කලේ නෑ. මොකද එදා මිල සූත්‍රයක් ගෙනාවා නම් ලෝක වෙලඳපොලේ තෙල් මිල ඇදගෙන වැටීමේ වාසිය ජනතාවට දෙන්න වෙනවා. 2013 දී ඩොලර් 106ට තිබුණු බොර තෙල් බැරලය 2016 දී ඩොලර් 49ට ඇද ගෙන වැටුණා. එහි වාසිය ජනතාවට නොදී රුපියල් බිලියන ගණනින් ආදායම ලබා ගෙන මිල වැඩි වුණු ගමන් ඔන්න මිල සූත්‍රයක් ගෙනාවා.

දැන් ලෝක වෙලඳපොලේ සුළු වශයෙන් මිල ඉහළ ගියත් ආණ්ඩුව දැවැන්ත ලෙස ඉන්ධන මිල වැඩි කරනවා. ඒ නිසා අපිට මෙහෙම දැවැන්ත මිළක් ගෙවලා පෙට්‍රල් ඩීසල් මිල දී ගන්න සිදු වෙන්නේ ඇයි කියලා දැන ගන්න අපිට අයිතියක් තිබෙනවා. ඒ නිසා මම අභියාචනා මණ්ඩලයට අභියාචනා කළාට පස්සෙත් මිල සූත්‍රය හෙලි නොකලොත් මම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල

786 views
Main News