උතුරු පළාත් සභාවේ කාලය අවසන්වීමට වසරකට අඩුයි.. ඊට කලින් පෙන්වන්න..- උතුර ආණ්ඩුකාර උතුර මහ ඇමතිට කියයි..

January 9, 2018 at 8:02 am | lanka C news
උතුරු පළාත් සභාවේ කාලය අවසන්වීමට වසරකට අඩුයි.. ඊට කලින් පෙන්වන්න..- උතුර ආණ්ඩුකාර උතුර මහ ඇමතිට කියයි..

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලීය නව අවුරුදු සැමරුම අද දින 2018 ජනවාරි 08 වන දින උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පැවැත්වුනි.

සියලුම සර්වාගමික නායකයින්ගේ ආශිර්වාද මැද උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා,උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා  ඇතුළු අමාත්‍යවරුන්,මන්ත්‍රිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් මේ අවස්ථාවේ සර්වාගමික නායකවරුන්ගේ ආශිර්වාද ලබා ගත්හ.

තවද උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම නියෝජනය වන පරිදි අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබා ගත් දරුදැරියන් 10 දෙනෙකු සඳහා විශේෂ තිලිණ සහ පදක්කම් පිරිනැමුණු අතර මෙම අවස්ථාවට ඔවුන් සහභාගි කරවා ගැනීම පිළිබඳව එම පාසල් වල විදුහල්පතිවරුන් විසින් ආණ්ඩුකාරතුමන් හට විශේෂ ස්තූතිය පුද කරනු ලැබිය.

මෙහිදී පිළිගැනීමේ කථාව ඉදිරිපත් කළ ආණ්ඩුකාරවර ලේකම්,

මෙම අවස්ථාවට පැමිණ සිටි සියලුදෙනා සාදරයෙන් පිළිගනු ලැබූ අතර ගිය වර්ෂ වලදී කාර්යාලීය සේවාවන් ඉටු කිරීමට සහයෝගය දැක්වූ සියලු දෙනාට ස්තූති කළ අතර මෙවරත් එම දායකත්වය අපේක්ෂා කරන බවට මෙහිදී සඳහන් කළේය. එමෙන්ම අප වෙත ගරු ආණ්ඩුකාරතුමා රාජකාරි පැවරීමේ දී පවසා සිටියේ එතුමාගේ පූර්ණ දායකත්වය මහජනතාවගේ සංහිඳියාව වර්ධනය කිරීම වෙනුවෙන් ලබා දෙන බවයි. ඒ අනුව අප සියලුදෙනාගේ දායකත්වය ලබාදෙමින් ඇප කැප වී සේවය කරන බවත් මෙම නව වසර සියලුදෙනාට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කළේය.

මෙහිදී අදහස් දැක්වු ප්‍රධාන අමාත්‍යතුමා,

නව වසර හා නව ආණ්ඩුව අතර විශාල බැඳීමක් දක්නට ලැබෙනවා. එනම් වසරක ආරම්භය හොදින් පවතිනවා. කාලය ගතවෙන්න වෙන්න විවිධ ගැටළු මතුවෙනවා. ඒවගේම ආණ්ඩුවක් ආරම්භ වන විට හොඳ ආරම්භයක් සනිටුහන් කරනවා. එහෙත් ඒ අතරතුර විවිධ ගැටළු වලට මුහුණපෑමට සිදු වන නිසාත් මහජනතාවගේ විවිධ විමර්ශන වලට ලක් වන නිසාත් ඔවුන්ට ආරම්භයේ සිටි ආකාරයටම දිගින් දිගටම කටයුතු කිරීමට අපහසු වෙනවා.

එමෙන්ම මෙවර පළාත් සභාව 5වන වසරට පය තබන අතර මෙහි කාලසීමාව අවසන් වීමට ඇත්තේ තව මාස කිහිපයකි. එබැවින් පසුගිය වසර වලදී ලබා ගැනීමට නොහැකි වූ සියලු දේ මෙම වර්ෂය තුළදී ලබා දීමට කටයුතු කරන මෙන් ගරු ආණ්ඩුකාරතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රධාන අමාත්‍ය අරමුදල මේ වසරේ හෝ ලබා දෙන්නේ නම් මම ස්තූතිවන්ත වෙනවා. ලේකම්වරුන්ගේ මාරුවීම් පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. නව වසරේ  ප්‍රථමයෙන්ම සියලු සර්වාගමික නායකවරුන්ගේ ආශිර්වාදය ලබාගත් අපහට 2018 වර්ෂය පුරාවටම ඔබ සියලුදෙනාගේ ප්‍රාර්ථනාවන් ඉටුවන සාමය සතුට පිරි සුභ නව වසරක් වේවායැයි ප්‍රාර්ථනා කරමි.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා,

නව වසරේ සිතේ නව සිතුවිලි ඇති කරමින් අප මුහුණ දෙන සියලුම ගැටළු වලට විසඳුම් සෙවිය යුතුයි. නව සිතුවිලි සිතේ ඇති කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය කාරණයකි. අපේ රටේ අපේ දේශයේ පවතින ගැටළු වලට විසඳුම් සෙවීමේදී පරණ සිද්ධාන්ත වලට පිටින් කටයුතු කළ යුතුයි. අපේ සිතුවිලි සියල්ල නව මාවතක ගමන් කළ යුතුයි. අපි එක්සත්භාවය සාමය පිළිබඳ කතා කරනවා. ඒවා ප්‍රදර්ශනය කරනවා. එහෙත් මේ කිසිවක් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ නෑ.

මා මේ මොහොතේ දී මතක් කිරීමට කැමතියි මාගේ පෙර මිතුරෙක් මාක්ස්වාදියෙක් හිටියා. ඔහු වතාවක් මට කිව්වා දවසක් ඔහුට සිගමන් යදින පුද්ගලයෙකු හමු වූ බවත් ඔහු මාගෙන් සත දහයක් ඉල්ලූ බවත් එවිට මා එය දිය නොහැකි බව පවසමින් අපේ මාක්ස්වාදයට එක්වී නව වෙනස්වීම් වෙනුවෙන් සටන් කරමු කියා පැවසුවා. එහෙත් අපි දුප්පතුන් උදව් ඉල්ලන විට ක්ෂණිකව උදව් කළ යුතුයි. අසරණ ජනතාවගේ ඉල්ලීම් සපුරා දිය හැකි අන්දමින් අප වැඩ කළ යුතුයි. අසරණ තත්වයක සිටින ජනතාවට උදව් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ලංකාවේ මෙන්ම ලෝකය පුරා සිටින ජනතාවට එනම් සිංහල ජනතාවට පමණක් නොව, දෙමළ  ජනතාවට පමණක් නොව, මුස්ලීම් ජනතාවට පමණක් නොව සියලු ජනතාවට  සතුට සාමය සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ඔබ දන්නවා උතුරු පළාත් සභාව අවසන් වීමට ඇත්තේ තව වසරකට අඩු කාලයක්.ඉදිරි කාලයේදී මහජනතාවගේ යහපත පිණිස අප සියලුදෙනා කටයුතු කළ යුතුයි. මධ්‍යම රජය හා පළාත් සභාව අතර පවතින සහයෝගිතාවය රටේ සංවර්ධනයට පිටිවහලක්. මහජනතාවට යහපතක් සලසන්නට නම් එම සහයෝගිතාවය සැමදා රඳා පැවතිය යුතුයි.  මම ඔනෑම මෙහොතක පළාත් සභාවට උදව් කිරීමට කැමැත්තෙන් සිටිනවා.පළාත් සභාවල සියලුම මන්ත්‍රිවරුන්ට සියලුම අමාත්‍යවරුන්ට තම ප්‍රදේශයේ ජනතාවට සේවයක් කිරීමට මාගේ සහය ලබා දෙනවා.

මෙම අවස්ථාවට සිසු දරුවන්ද පැමිණ සිටිනවා. ගණිත අංශයෙන් එක් දරුවෙක් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා. ඇත්තටම මා ඒ ගැන සතුටු වෙනවා. උතුරු පළාතේ ඇති ගැටළු වලට හොඳම විසඳුම  අධ්‍යාපනයයි.

බ්‍රිතාන්‍ය කාලවකවානුවේදී පවා යාපනය ප්‍රදේශයේ සංවර්ධනයක් දක්නට ලැබුණේ නැහැ. ඔවුන් සංවර්ධනයක් වශයෙන් දකුණු පළාතේ තේ,පොල්,රබර් වැනි වාණිජ භෝග වගා කිරීම් කළා. ඒ කාලයේ දී කිසිඳු කර්මාන්තයක් තිබුණෙත් නෑ. නිදහසෙන් පසුව තමයි කර්මාන්ත ආරම්භය සිදු වුණේ. නමුත් වර්තමානය වන විට අප රටේ ඇති සංවර්ධනය ප්‍රමාණවත් නැහැ. අප තවත් රට වෙනුවෙන් ඇපකැප වී වැඩ කළයුතුයි. කොතරම් ගැටළු මතු වූවත් අප රටේ අහිංසක ජනතාව වෙනුවෙන් අපරිමිත සේවාවක් කිරීමට අමතක නොකල යුතුයි.

– වජිර කොඩිතුවක්කු

61 views

One Comment to “උතුරු පළාත් සභාවේ කාලය අවසන්වීමට වසරකට අඩුයි.. ඊට කලින් පෙන්වන්න..- උතුර ආණ්ඩුකාර උතුර මහ ඇමතිට කියයි..”

  1. බෙබා says:

    මහ ඇමතිගෙ ලබ්බද පෙන්නන්න කියල තියෙන්නෙ. මෛත්‍රී පිලේ එවුන්ගෙ ප්‍රව්‍රති සාමාන්‍යයෙන් නොකියෙව්වත්, මෝඩ කමට කියෙව්වනෙ 🙁 සුනඛයො කවද්ද සිංහ නාද කලේ.., තුහ් නොදකින් සමනලයො!!!

Main News