උතුරු පළාතේ පෞද්ගලික පරිත්‍යාගශීලීන්ට උපහාර පිදෙයි…

November 16, 2017 at 2:06 am | lanka C news
උතුරු පළාතේ පෞද්ගලික පරිත්‍යාගශීලීන්ට උපහාර පිදෙයි…

උතුරු පළාත තුල ජීවත්වන තම පෞද්ගලික පරිත්‍යාග තුලින් උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා දායකත්වය දැක්වූ පරිත්‍යාගශීලීන් සඳහා උපහාර පිදීමේ උත්සවයක් පැවැත්වීමට තීරණය කරඇත.

මෙම කටයුත්ත උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය හා ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම්තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබන අතර මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ 15 උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාල ශ‍්‍රවණාගාරයේදී ගරු උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වින.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා,

උතුරු පළාතේ ඉදිරි සංවර්ධනය, මුදලින්, භෞතික ද්‍රව්‍ය වලින් යාන වාහන වලින් වැටුප් වර්ධක වලින් පමණක් ඉදිරියට ගෙනයන්න බැහැ. ඒ සඳහා මිනිසුන්ගේ හැගීම්, මිනිසුන්ගේ ගෞරවය, මිනිසුන්ව අභිපේ‍්‍රරණය කිරීම සඳහා වෙනත් ක‍්‍රමවේද භාවිතා කල යුතුයි. උදාහරණයක් හැටියට ගතහොත් පොදු දේපළ, පොදු ගොඩනැගිලි, පාසල්, ප‍්‍රජාශාලා, කෝවිල් සෑදීමට දානපතියන් තමන්ගේ පුද්ගලික ඉඩම් දී තිබෙනවා සතයක්වත් ගන්නේ නැතුව. ඒ අයට ගෞරව කිරීමේ වැඩපිළිවෙලක් නෑ. මම දැන් ගිය හැම තැනකදීම දැක්කා පාසල් හදලා තියෙන්නේ පොන්නම්බලම් රාමනාදන් මහතාගේ ඉඩම්වල.
තවත් සමහර තැන් වලට ගොස් බැලූවහම කදිරගාමර් මහතාගේ ඉඩම්වල. මෙවැනි අයගේ ඉඩම්වල තමයි මේ පොදු ස්ථාන පවත්වාගෙන යන්නේ. එතනට යන මිනිසුන් දැනුවත් නෑ කවුද ඒවා දුන්නේ කියලා. ඒවගේම මේ කාලයේදීත් මේවගේ උදව් කරන අය ඉන්නවා.
ඒ නිසා එවැනි උදව් කරන අයට ගෞරවයක් දිය යුතුය කියලා මම කල්පනා කරනවා.

ඒ වගේම රාජ්‍ය සේවකයෙක් වන දකුණින් ආව ලයනල් ප‍්‍රනාන්දු මහතා මෙහි හිටපු දිසාපතිතුමායි. ඔහු යාපනය ජනතාවගේ පුදුම ආදරයකට ලක්වුනා. ඔහුගේ අවසන් කටයුතු කරන දවසේ යාපනය ජනතාව පුදුම විදිහට විශාල ප‍්‍රමාණයක් ගිහින් ඒ අවසන් කටයුතු වලට සහභාගි වෙලා ඒ ගෞරවය, ආදරය දැක්වූවා. අන්න ඒවගේ නිලධාරීන් මේ පළාතෙන් මතුකර ගන්න හුගක් වැඩකරන්න ඕන.

ඒවගේම වෛද්‍යවරුන් යුද්ධය තිබුණු කාලයේ තමන්ගේ ජීවිත නොතකා ජීවිත තර්ජන නොතකා රෝහල්වල ඉඳගෙන රෝගීන්ට ප‍්‍රතිකාර කරලා තියෙනවා. ඒ අයව සොයාගෙන ඒ අයට උපහාර කරන්න ඕන. ඒ අය වැඩ කලේ බෝම්බ වරුසාවල් මැද්දේ. නමුත් ඔවුන් රෝහල් අතහැර ගියේ නෑ. රෝහල් තුල ඉඳගෙන ඒවාට බෙහෙත් කලා. උදව් කලා. ඒ වගේ අයව සොයලා බලලා ඒ අයට ගෞරවයක් දිය යුතුයි යන්න අප සිහිතබා ගත යුතුයි. ඒ අයව දිරිගැන්වීම සඳහා වාර්ෂිකව ඉදිරි කාලය තුලදී මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා ගරු ආණ්ඩුකාරතුමාගේ කතාව දමිළ භාෂාවෙන් පරිවර්තනය කර මාධ්‍යවේදීන් සඳහා ඉදිරිපත් කරන ලදී.

– වජිර කොඩිතුවක්කු

33 views

One Comment to “උතුරු පළාතේ පෞද්ගලික පරිත්‍යාගශීලීන්ට උපහාර පිදෙයි…”

  1. amarapala says:

    bohoma hoda wedak

Main News