උතුරේ ආයුධ මතුවුනාට යලි යුද්දයක් ඇතිවෙන්නෙ නෑ.. ඇතිවෙන්න දෙන්නෙත් නෑ…

August 16, 2018 at 6:48 pm | lanka C news
උතුරේ ආයුධ මතුවුනාට යලි යුද්දයක් ඇතිවෙන්නෙ නෑ.. ඇතිවෙන්න දෙන්නෙත් නෑ…

මුලතිව් රාමේෂ්වරම් වලින් පැරණි ආයුධ මතු වුණාට, යම් යම් තැන් වලින් ඇට සැකිලි මතු වුණාට, ආයුධයක්  දෙකක්  තැන් තැන් වලින් හමු වුණාට නැවත උතුරේ යුද්ධයක් ඇති වන්නේ නැහැ. ඇති වෙන්න ඉඩ තියන්නේත් නැහැ” යයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පසුගිය දා මුලතිව් ක‍්‍රීඩා පිටියේ පැවති රැස්වීමකදී පැවසීය.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහ පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන්ගේ මූලිකත්ත්වයෙන් ආරම්භ කර ඇති බෝධිරාජ පදනමේ මෙහෙයවීමෙන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ ස්වයං රැකියාලාභී කාන්තාවන් සඳහා ද්‍රව්‍ය ආධාර සහ ආබාධිත පිරිස් සඳහා රෝද පුටු බෙදා දීම සඳහා පැවති මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක් වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙසේ පැවසීය.

”මහ වරුසාවක් වැස්සට පස්සේ පොළවේ තෙතමනය තියෙනවා වගේ උතුරු පළාතේ පැවති තිස් අවුරුදු යුද්ධයෙන් පසු ආයුධ දෙකක් තුනක් හම්බ වෙන්න පු`ථවන්. ඒක නැවත යුද්ධයක පෙර නිමිති හෝ ආරම්භයක් හෝ නොවෙයි. අද උතුරේ රණ විරුවන්  බිහිසුණු පීඩාකාරී යුද්ධය නිමා කර සාමකාමී හමුදාවක් බවට පත් වෙලා තිබෙනවා. උතුරේ තිබෙන රෝහල්වල ලේ බැංකු රක්ත වර්ණයෙන් පුරවන්නේ උතුරේ සිටින ත‍්‍රිව්ධ හමුදාවේ සහ පොලිසියේ සිංහල නිලධාරීන්. රෝහල් ගතව සිටින ද්‍රවිඩ ජනතාවට සිංහල ජාතීන්ගේ ලේ දුන්නම එතැන සිංහල ද්‍රවිඩ ලේ කලවම් වීමක් සිදු නොවන්නේ දැයි මා උතුරේ දේශපාලඥයන්ගෙන් ප‍්‍රශ්න කරනවා. අතීතයේ අපේ රට පාලනය කළ සිංහල රජවරු සරණ පාවා ගැනීම සඳහා කුමාරිකාවන් ගෙන්වා ගත්තේ ඉන්දියාවේ මදුරා පුරයෙන්. ඒ වගේම ලංකාවට වෙළඳාම සඳහා පැමිණි බොහෝ මුස්ලිම්වරු සිංහල හෝ ද්‍රවිඩ කාන්තාවන් විවාහ කරගෙන අපේ රටේ පදිංචි වුණා. එහෙම බැලූවම අතිතයේ ඉඳලම අපේ ලේ කලවම් වෙලා තිබෙනවා නේද?

අද උතුරේ සිටින සියලූම ද්‍රවිඩ දේශපාලඥයන්ට ආරක්‍ෂාව සපයන්නේ සිංහල පොලිස් නිලධාරීන්. පාර්ලිමේන්තුවේ වේවා, පළාත් සභාවේ වේවා සියලූම ද්‍රවිඩ මන්ත‍්‍රීවරුන්ට ආරක්‍ෂක නිලධාරීන් වශයෙන් සේවය කරන්නේ සිංහල පොලිස් නිලධාරීන්. කිසිදු ද්‍රවිඩ දේශපාලඥයෙකු ගාව ද්‍රවිඩ පොලිස් නිලධාරීන් නැහැ. එය හොඳ ලක්‍ෂණයක්.

අද උතුරේ හමුදාව අත ඇත්තේ තුවක්කුව නොවෙයි.  සාමයේ ඔලිව් අත්තයි. ඔවුන් තමයි අද උතුරේ රෝහල් හදන්නේ, පාසැල් හදන්නේ, කෝවිල් වල පූජා කටයුතු වලට උදව් කරන්නේ. මේ වන විට නාවික හමුදාව විසින් උතුරේ වෙරළබඩ තිරයේ පොල් පැල ලක්‍ෂයක් සිටුවීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ලෝක පරිසර දිනය නිමිත්තෙන්    හමුදාව විසින් යාපනය නගරයේ පැල සිටුවීම ආරම්භ කළා. ඒ වගේම පාසැල් ළමුන් සඳහා නොමිලේ පොත් පත්, පාසැල් උපකරණ, පාපැදි බෙදා දීමේ වැඩසටහන් පවා ආරම්භ කර තිබෙනවා. ද්‍රවිඩ ජනතාව හමුදාව ප‍්‍රතික්‍ෂේප කරලා නැති බව ඉන් පැහැදිලි වෙනවා.

ද්‍රවිඩ ජනතාව සාමය හා සංහිඳියාවට කැමති, සංවරකම, හින්දු සංස්කෘතියට බැඳීම් ඇති, මනුස්සකම බෙහෙවින් ප‍්‍රදර්ශනය කරන පිරිසක් හැටියට අගය කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය වන්නේත්් මනුස්සකම, සෙනෙහස, දයාව, කරුණාවයි. බෙහෙවින් කටුක ජීවිතයකට හුරු පුරුදු,  ඕනෑම පීඩාවක් දරා ගැනීමේ ශක්තියක් ඇති ද්‍රවිඩ ජනතාව දැන් සංහිඳියාව නිසා හොඳ මාවතකට පැමිණ සිටිනවා” යයි රෙජිනෝල්ඞ් කුරේ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම උත්සවයේදී කිරි හරක් සිය දෙනෙකු, උදලූ තල 500 ක්, අඹ පැල 1000ක් ද බෙදා දුන් අතර එම භාණ්ඩ වල මුලූ වටිනාකම රුපියල් ලක්‍ෂ 50 ඉක්මවන බව මෙහිදී බෝධිරාජ පදනමේ ගරු සභාපති පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

30 views
Main News