උතුර පුරා පොහොට්ටු පිපේ..

September 29, 2017 at 5:30 pm | lanka C news
උතුර පුරා පොහොට්ටු පිපේ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උතුරු පළාත තුල ස්ථාපිත කිරිම නිල වශයෙන් ආරම්භ කරන යාපනය දිස්ත්‍රික් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සදහා බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් යාපනය බලා පිටත් ව ගොස් ඇත.

ජාතික දේශපාලන පක්ෂ උතුරේ ජනතාව දිනා ගැනීම සදහා උතුරු පළාත නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වීමේ ගතානුගතික ක්‍රමවේදය වෙනුවට සෘජුවම උතුරේ ජනතාව සමඟ සම්බන්ධ වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාවයි. යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගත් උතුරු පළාතේ සමාරම්භක සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේද එම සංකල්පය මතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උතුරේ ජනතාව දිනාගැනිමට පමණක් සීමා නොවී උතුර , දකුණ තව දුරටත් යාකරන මානව සබඳතා නිර්මාණය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උතුරු පළාත් චාරිකාවේ තවත් ප්‍රමුඛ අපේක්ෂාවකි. සාමය දිනාදී,යටිතල පහසුකම් සංවර්ධනය කර ඒ ඔස්සේ උතුරේ ජන ජීවිතය පෙර නොවුවිරූ යහපත් වෙනසකට යොමු කිරීමේ ‍‍‍ථෛතිහාසික කීර්තිය හිමි වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයටයි.

විවිධ අනවශ්‍යය බෙදීම් නිර්මාණය කරමින් උතුරේ සැබෑ ජනතා අපේක්ෂාව වෙනුවට විජාතික අවශ්‍යයතාවන් ඉටු කරන වර්තමාන ආණ්ඩුව උතුර සහ දකුණ අතර ගොඩනැගුණු සුහදත්වය බිඳදමමින් තිබේ. ඒකී අභියෝගයන් නිරවුල්ව අවබෝධ කරගෙන උතුරේ ජනතාව හදවතින්ම වැළඳ ගන්නා ජාතික දේශපාලන ව්‍යපාරයක් නිර්මාණය කරන අතරතුර ජාතික සමගියේ පෑරුණු තුවාල සුවපත් කිරීම අපගේ මෙම උතුරු පළාත් චාරිකාවේ පොදු අපේක්ෂාවයි.

සංජීව එදිරිමාන්න
ප්‍රකාශක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

168 views