එංගලන්තයේ සයිටම් තහනම් කලේ ලංකාවේ වෛද්‍ය සභාවේ වරදින්..- රාජිත

September 17, 2017 at 2:10 pm | lanka C news
එංගලන්තයේ සයිටම් තහනම් කලේ ලංකාවේ වෛද්‍ය සභාවේ වරදින්..- රාජිත

මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයකින් කොළඹට පැමිණි රථ පෙළපාලි නතර කිරීමේ අවශ්‍යතාවයක් තමන්ට නොතිබුනු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 55,000 ක මුදලකින් කලුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන ලද රෝහල් ව්‍යාපෘති පිළිබදව ජනමාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය හමුව කලුතර මහ රෝහලේ ළය චිකිත්සාගාර ශ්‍රවණාගාරයේ දි පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – කොළඹට පැමිණි රථ පෙළපාලිය බැලීමට තරම් මට අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. මම දන්නේ නැහැ මොනවා වුනා ද කියලා මම සවස අමාත්‍යාංශයට එන විට මගේ ආරක්ෂකයින් පැවැසුවා පෙළපාලිය පිටුපසින් එන බව. මම බලන කොට යතුරු පැදිවල නැගලා රතු ධජ අතැතිව එනවා දැක්කා. මට පෙනුනේ වමේ පෙළපාලියක් ලෙසයි. මොකද ලංකාවේ යතුරු පැදි ධාවනය කරන වෛද්‍යවරු නැහැ. සුලු පිරිසක් සිටියේ. 5000 ක් පමණ එනවා කිවා. කොළඹ නගරය අකර්මන්‍ය වෙනවා කිවුවා. මම නම් එහෙම දෙයක් දැක්කේ නැහැ. කිසිදු අපහසුතාවයක් සිදු වුනේ නැහැ. ලිප්ටන් වට රවුමේ තදබදය ඇති වුනේ ඔවුන් වාහන වලින් එළියට බැස්ස නිසයි. වාහන වලින් තදබදයක් ඇති වුනේ නැහැ. රැස්වීමක් තියලා ගිහිල්ලා තිබුනා. එයාලා මහන්සි වුනාට මම අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු සිදු කළා. පෙළපාලිය කොහෙන්වත් නතර කළේ නැහැ. කොළඹට පැමිණිමට ඉඩ ලබාදුන්නා.

මහා බ්‍රිතාන්‍ය යේ වෛද්‍ය සභාව මාළඹේ සයිටම් ආයතනය ප්‍රතික්ෂේප කිරිම පිළිබදව ද මාධ්‍යවේදීන් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කරුණු විමසීය.

වෛද්‍ය විද්‍යාලයක් තම රටේ වෛද්‍ය සභාව පිළිගන්නා තුරු වෙනත් රටක වෛද්‍ය සභාව පිළිගන්නේ නැහැ. අපි චීනයේ වෛද්‍ය විද්‍යාලයක් හෝ උපාධියක් අපේ රටට ලබාදෙන විට පළමුව බලන්නේ චීනය එය පිළිගත්තා ද යන්න පිළිබදවයි. මේ පිළිබදව වෛද්‍යවරුන් කරුණු දන්නවා.

සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් පසු ඉදිරියේ දී ඉහළ තනතුරු වලට පත්වන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසුවේ එය අනාගතයට බාර කරුණක් බවයි.

– ප‍්‍රසන්න අධිකාරී

27 views
Main News