‘එකෙක් මැරුම් කෑවා.. තව තුන්හතර දෙනෙක් ඉන්නවා.. පරිස්සමින් පෙත්සම් ගහපල්ලා’.. බන්ධනාගාර ලොක්කෙක් බන්ධනාගාර නිලධාරීන්ට කියයි..

August 19, 2019 at 6:48 pm | lanka C news
‘එකෙක් මැරුම් කෑවා.. තව තුන්හතර දෙනෙක් ඉන්නවා.. පරිස්සමින් පෙත්සම් ගහපල්ලා’.. බන්ධනාගාර ලොක්කෙක් බන්ධනාගාර නිලධාරීන්ට කියයි..

ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් සදහා ගාල්ල බන්ධනාගාරයේ පැවති රැස්වීමේදී ‘එකෙක් මැරුම් කෑවා, තව තුන්හතර දෙනෙක් ඉන්නවා, පරිස්සමින් පෙත්සම් ගහපල්ලා’ යනුවෙන් ගාල්ල, බන්ධනාගාර අධිකාරී  පැවසූ බව ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් ප්‍රකාශ කරයි.

‘මට විරුද්ධවයි, කියල හිතාගෙන මේ අය පෙත්සම් ගැහුවත්, පාතාලය හිතන්නේ ඔවුන්ට විරුද්ධව පෙත්සම් ගහනවා කියලා’ යැයිද බන්ධනාගාර අධිකාරීවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ඝාතනයට ලක් වූ කොළඹ, වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසැලේ ප්‍රධාන ජේලර්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර තිබේ.

අම්බලන්ගොඩ, කුලීගොඩ, සැන්ටින් ද සොයිසා මාවතේ පදිංචි මෙරෙක්ඥ තිලිණ රුවන් තිහාර ජයරත්න (44) නැමැති ජේලර්වරයා පසුගිය 03 දා සවස අම්බලන්ගොඩ, කුලීගොඩදී වෙඩිතබා ඝාතනය කර තිබුණි. මෙම ඝාතනය ගාල්ල බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකුගේ කොන්ත්‍රාත්තුවක් මත දකුණේ පාතාලය විසින් කරන ලද්දක් බවට මේ වන විටත් තොරතුරු අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක් වූ ජේලර්වරයාගේ අවසන් කටයුතු සිදු කෙරුණේ පසුගිය 07 වනදාය. 06 වන දින බන්ධනාගාර කටයුතු අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය, ජේලර්වරයාගේ නිවසට පැමිණ ඝාතනයට ලක් වූ තිලිණ රුවන් තිහාර ජයරත්න ජේලර්වරයාට අවසන් ගෞරව දැක්වුවාය. පසුව පැමිණ සිටි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් හා ජේලර්වරයාගේ බිරිද හා ඥාතීන් සමගද බොහෝ වේලාවක් සාකච්ඡා කළේය. එයින් පසුව ඝාතනය සම්බන්ධයෙන් ඇගිල්ල දිගු වී තිබෙන ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයා ස්ථාන මාරු කිරීමටද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේය. එය ඉදිරි පරීක්ෂණ සදහා පහසුවක් බවට ඇමතිවරිය විසින් එහිදි ප්‍රකාශ කර ඇත. පොලීසියද එවන් ඉල්ලීමක් ඇමතිවරියගෙන් නිල නොවන මට්ටමින් කර තිබූ බවද ඇමතිවරියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

එදින (06) මව්බිම පුවත්පතේ පලවී තිබූ ‘’බන්ධනාගාර පුහුණු පාසැලේ ප්‍රධාන ජේලර් ඝාතනය කළේ බන්ධනාගාරයේම ලොක්කෙකුගේ කොන්ත්‍රාත්තුවකට, CID ය පරීක්ෂණ අරඔයි ‘’ යන සිරස්තලය යටතේ වූ ප්‍රවෘත්තියද ඇමතිවරියගේ අවධානයට ලක් වී තිබේ. ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයා ස්ථාන මාරු කරන ලෙස ඇමතිවරිය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාට උපදෙස් දීමත් සමග 07 දින දිනපතා පුවත්පත් බොහොමයක පල වි තිබුණේ ගාල්ල බන්ධනාගාරයේ අධිකාරිවරයා බන්ධනාගාර සංචිතයට මාරු කල බවයි. නමුත් ඊයේ (18) දිනය වන විටත් ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයා ලෙස සේවය කරමින් සිටියේ ජේලර්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් නිතර නම කියවුණ ජගත් චන්දන වීරසිංහ මහතාය. මෙම ලිපියේ ආරම්භයේදීම සදහන් කළේ ඔහු ඊයේ (17) පෙ.ව 9.00 ට ආරම්භ කර පෙ.ව 11.00 වන තෙක් පැවති, සෑම සෙනසුරාදා දිනකම පවත්වන බන්ධනාගාර නිලධාරින්ගේ රැස්වීමේදි කරන ලද ප්‍රකාශයකි. ගාල්ලේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙක්ද වන ඇමතිවරයෙකුගේ දැඩි බලපෑම මත බන්ධනාගාර අධිකාරිවරයා ස්ථාන මාරු කිරීමට නොහැකි වි තිබෙන බවද දැන ගන්නට තිබේ.

ගාල්ල බන්ධනාගාරයේ සේවය කරන සම්පූර්ණ නිලධාරින් සංඛ්‍යාව 250 කට අධිකය. (17) රැස්වීම සදහා නිවාඩු ලබා සිටින හා අත්‍යාවශ්‍ය රාජකාරී වල නිරත නිලධාරීන් හැර හැත්තෑ දෙදෙනෙක් (72) සහභාගී වි ඇත.

‘පාතාලයට පක්ෂව රාජකාරී කළා කියල බොරු පෙත්සම් ගහල මාව මාරු කරන්න උත්සාහ කලා. මට විරුද්ධව යවන සෑම පෙත්සමක්ම ආයෙත් මට ලැබෙනවා’ යනුවෙන්ද බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කල බව බන්ධනාගාරයේ නිලධාරීන් කියති.

මේ නිසාම ගාල්ල බන්ධනාගාරයේ සිදුවන අක්‍රමිකතා වලට එරෙහි වීමට නිලධාරීන් වැඩි කැමැත්තක් නොදක්වන බවද දැන ගන්නට ඇත. බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතාගේ ක්‍රියා කලාපය දන්වා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට යවන ලද පෙත්සම් වල ඡායා පිටපත් සත්‍ය ලෙසම ඔහු විසින් පෙන්වන ලද අවස්ථාද තිබූ බව බන්ධනාගාර නිලධාරීන් කියයි. එම පෙත්සම් වලට යටින් ඝාතනයට ලක් වූ තිලිණ රුවන් තිහාර ජයරත්නාගේ මෙන්ම වෙනත් බන්ධනාගාර නිලධාරීන්ගේ නම් යොදා නැවත ඡායා පිටපත් ගෙන පාතාලයට ලබා දී පාතාලය හා ඔවුන් අතර වෛරයක් ගොඩ නැගීම සදහා කටයුතු කර තිබෙන බවද බන්ධනාගාර නිලධාරීන් කියයි.

මෙම තත්ත්වය තුල මේ වන විට ගාල්ල, බන්ධනාගාරය පාතාලයේ තෝතැන්නක් බවට පත්ව තිබේ. නීති ගරුක නිලධාරීන්ද ජීවිත ආශාව නිසාම නිහඩ වි තිබේ. අප රටේ බන්ධනාගාර, මේ වන විට අපරාධ මෙහෙයවන ස්ථාන බවටද පත්ව තිබේ. ඒ නිසාම යමෙක් බන්ධනාගාරගත කිරීම අපරාධ අඩු කිරීමකට වඩා වැඩි කිරීමකට හේතු වනබව නුදුරේදීම තහවුරු වන බව කිව යුතුය. ඒ අනුව බලන කල අපරාධ කරුවන්ට ලබාදෙන අධිකරණයේ දඩුවම් වලට වඩා පොලීසිය අපරාධ කරුවන් ආයුධ පෙන්වන්නට රැගෙන යෑම වඩාත් උචිත වන බව කිව යුතුය.

– ජයකාන්ත ලියනගේ

37,905 Viewers

2 Comments to “‘එකෙක් මැරුම් කෑවා.. තව තුන්හතර දෙනෙක් ඉන්නවා.. පරිස්සමින් පෙත්සම් ගහපල්ලා’.. බන්ධනාගාර ලොක්කෙක් බන්ධනාගාර නිලධාරීන්ට කියයි..”

  1. somapala says:

    අපට ගෝටා ඕනෑ. වෙන කාටවත් මේවා නවත්වන්න බෑ

  2. Asoka says:

    මේ ඔක්කමලා ගොටාගේ ගෝලයෝ. දුමින්ද සිල්වත් තවම ඇතුලේ

Main News