එක වසරේ සිසු දරු දැරියන්ට නිල ඇදුම් වවුචර් තාම නෑ..

April 1, 2019 at 8:03 am | lanka C news
එක වසරේ සිසු දරු දැරියන්ට නිල ඇදුම් වවුචර් තාම නෑ..

දකුණු පළාතේ ජාතික හා පළාත් සභා පාසල්වලට 2019 වසරේ පළමු ශ්‍රේනිය සඳහා බදවා ගත් සිසු දරු දැරියන්ට රජයෙන් ලබා දිය යුතු පාසල් නිල ඇදුම් මුදල් වවුචර් මෙතෙක් ගෙවා නැතැයි මව්පියෝ චෝදනා කරති.

ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට අයත් ඇල්පිටිය, අම්බලන්ගොඩ, ගාල්ල, උඩුගම, මාතර, මුලටියන, දෙනියාය, අකුරැස්ස, වලස්මුල්ල, තංගල්ල හා හම්බන්තොට යන අධ්‍යාපන කළාප එකොලහ (11) තුළ පිටිහි පාසල් එක්දහස් හතලිස් දෙකක (1042) ක දරු දැරියන්ට මෙම මුදල් වවුචර් අහිමි වී තිබෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

සිය දරුවන්ට නිල ඇදුම් වවුචර් පත් මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමව්පියෝ ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ගෙන් විමසීම් කල ද ඊට මෙතෙක් ඵලදායී විසදුමක් නොලැබුණ බවද දෙමාපියෝ ප්‍රකාශ කරති.

වත්මන් රජයේ තීරණාත්මක ප්‍රතිපත්තියක් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 2018/41 දරණ අධ්‍යාපන චක්‍රලේඛනයට අනුව ලංකාවේ සියලුම පාසල් වලට වසරේ ජනවාරි මස ඇතුලත් වන සියලු දරුවන් සදහා පාසල් නිල ඇදුම් ලබා දීම සඳහා ජනවාරි මස හෝ පෙබරවාරි මස අවසන් වීමට පෙර සිදුකල යුතුය. ජනවාරි මාසයේදීම විදුහල්පතිවරුන්ගෙන් පාසලට ඇතුලත් වු දරුවන් සංඛ්‍යාව ලබාගෙන ඒ අනුව  පෙබරවාරි මස අවසන් වීමට පෙර මුදල් වවුචර්  ලබා දීමට මීට පෙර කටයුතු කර ඇතත් 2019 වසර සඳහා මෙතෙක් එම මුදල් ගෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත්ව ඇතැයිද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක්ගෙන් කල විමසීමේදී ඔහු ප්‍රකාශ කළේය.

දකුණු පළාත ඇතුලුව ලංකාවේ සියලුම පාසල් වල පළමු ශ්‍රේණියට ඇතුලත් කර ගන්නා පිරිමි දරුවන් සදහා කලිසම් කමීස රෙදි සදහා රුපියල් පන්සිය විසි පහක් (525/-) ක් ගැහැනු දරුවන්ගේ ගවුම සදහා රුපියල් හාරසිය හතලිහක් (440/-) ක් සාය හැට්ට භාවිත කරන පාසල් වල ගැහැනු දරුවන් සදහා රුපියල් හත්සිය හතලිස් පහක් (745/-) ක් මුස්ලිම් දැරියන්ගේ ෆර්තාව සහ ගවුම සදහා රුපියල් හයසිය හතලිස් පහක් (645/-) ක් ද වශයෙන් මුදල් වවුචර් ලබාදිය යුතු බවට චක්‍රලේඛනය මගින් දැනුම් දී තිබේ. මේ ආකාරයෙන් මුදල් වවුචර් රජය මීට පෙර වසර වල ලබා දී තිබෙන බවද දෙමව්පියෝ ප්‍රකාශ කරති.

අධ්‍යාපන කලාප බලධාරින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ මුදල් වවුචර් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ප්‍රධාන කාර්යාලය මගින් ලංකාවේ පළාත් 09 තුළ පිහිටි ජාතික පාසල් හා පළාත් සභා පාසල් වලට අදාල පාසලේ නම සදහන් කර විදුහල්පතිවරුන් වෙත එවීමට කටයුතු කරන බවයි. නමුත් 2019 වසර සඳහා මෙතෙක් මුදල් වවුචර් ලබා දීම සිදුකර නැති බව පළාත් අධ්‍යාපන බලධාරින් හා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන් අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය ද යොමුකර ඇති බවද ඔවුන්ගෙන් විමසීමේදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් දකුණූ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගනකාධිකාරි එම් ජි නිහාල් මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

2019 වසර සදහා පළමු ශ්‍රේණියේ දරු දැරියන්ට ගෙවිය යුතු මුදල් වවුචර් ප්‍රමාදයක් තිබෙන බව සත්‍යයක්. නමුත් එම වවුචර් ලබා නොදීමට තීරණයක් ගෙන නැහැ. දෙමාපියන් කලබල විය යුතු නැහැ. ඉක්මනින්ම නිල ඇදුම් මුදල් වවුචර් ලබා දීමට කටයුතු කරනවා. මුදල් වවුචර් ඉදිරි දින කීපය ඇතුලත ලැබීමට නියමිතයි. ලැබුණු විගසම පාසල් ප්‍රධානීන් වෙත යවා ඒවා දරුවන් වෙත ලබා දීමට වහාම පියවර ගන්නවා.

– ජයකාන්ත ලියනගේ

64 views
Main News