එජාපයේ කැරැල්ලක්… විනය පරීක්‍ෂණ කැදවයි..

October 1, 2016 at 1:20 pm | lanka C news
එජාපයේ කැරැල්ලක්… විනය පරීක්‍ෂණ කැදවයි..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් නැවත පක්ෂය තුළ කැරැලිකාරිත්වයක් හට ගැනීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

මේ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් මේ වන විටත් නායකත්වයේ අනුදැනුමකින් තොරව ඇතැම් මැති ඇමැතිවරු සිදු කරනු ලබන කටයුතු සඳහා විනය පියවර ගැනීම කෙරෙහි ද අවධානය යොමුව පවතින බවත් එජාප ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන්ම එජාපයේ මැති ඇමැතිවරුන් ගණනාවක් වත්මන් ජනාධිපතිවරයා හා මහින්දවාදීන් සමඟ ද සමීපව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී පවතී.

මේ අතර විධිමත්ව පක්ෂයේ අවසරයකින් තොරව ජනාධිපතිවරයා සමඟ එක්සත් ජාතීන්ගේ සමුළුවට සම්බන්ධ වීමට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙක් සම්බන්ධව විශේෂ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ද වාර්තා වේ.

විජේපාල හෙට්ටිආරච්චි, නාලක කොලොන්නේ මෙන්ම නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා යන මන්ත්‍රීවරුන් සම්බන්ධව මෙසේ කටයුතු කිරීමට තීන්දු කර ඇත.

පොළොන්නරුව ලක්ෂ උයන කර්මාන්ත පුරවරයේ පොලිතීන් කර්මාන්ත ශාලාවක් හිමි ව්‍යාපාරිකයෙක් වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ කටයුතු කරමින් සිටින්නේ අග්‍රාමාත්‍යවරයාට අනුව නොව ජනාධිපතිවරයා කියන ආකාරයට බව එක්සත් ජාතික පක්ෂයට නිරීක්ෂණය වී තිබුණේ කලකට පෙර දී බව කියැවේ.

විදේශ ඇමැතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධාන සැසියට රට නියෝජනය කරමින් සහභාගී වෙද්දී නියෝජ්‍ය ඇමැතිවරයාත් ඊට සහභාගී වීම අවශ්‍ය නැති බව පක්ෂයෙන් දන්වා තිබෙද්දී ඒ උපදෙස් නොතකා හැර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා එම සැසියට සහභාගී වී ඇත.

– sathhanda.lk

42 views
Main News