එජාපය තමන්ම කාකොටා ගනිති.. ඇමති විජේදාසට එරෙහිව විශ්වාස භංගයක් ගෙනේ.. චෝදනාව රාජපක්ෂලා හිරේ නොදැමීම..
August 10, 2017 at 10:06 pm | lanka C news
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් සැරසෙති.
මේ සඳහා ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අද (අගෝස්තු 10) අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී ඒ පිළිබඳව දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් බීබීසී සිංහල සේවයට පැවසීය.
පසුගිය කාලයේ දුෂණ හා වංචා පිළිබඳව ක්‍රියාත්මකවන පරීක්ෂණවලට අදාළ නඩු විභාග කඩිනම්වීම වැළැක්වීමට කටයුතු කිරීම හා කැබිනට් සාමුහිකත්වය කඩ කර කටයුතු කිරීම වැනි හේතු නිසා මෙසේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
අද දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් සාමුහිකත්වය කඩකර කටයුතු කිරීම ගැන රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගේ දැඩි විවේචනය යොමු විණි.
හම්බන්තොට වරාය චීනයට බදු දීම දැඩි ලෙස විවේචනය කරමින් “හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නැහැ” යනුවෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් පළකළේය.
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ යටතේ තිබෙන නීතිපති දෙපාර්තමේන්තුවද අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සෙනරතානගේ දැඩි විවේචනයකට ලක්වූයේ පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ වංචා හා දුෂණ පිළිබඳව නඩු සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන්නේ ඇල්මැරුණු ස්වරුපයක් බව පෙන්වාදෙමිනි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුනේ පසුගිය කාලයේ සිදුවූ වංචා හා දුෂණ පිළිබඳ නඩු කල් යාමට අධිකරණ ඇමතිවරයා වගකිව යුතු බවය.
මේ අතර, අධිකරණයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය කුණු කුඩයට දමා විරුද්ධ පක්ෂ පාර්ශ්වයේ නඩු පමණක් කඩිනම් කරන ලෙසට ඉල්ලීම් කිරීම තමන් ප්‍රතික්ෂේප කරන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර තිබුනේ නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරමිනි.
අධිකරණයට ඇගිලි ගැසීමට තමන්ට නොහැකි බව ද ඔහු සඳහන් කර තිබිණි.
– BBC