එජාප අලූත් ජාතික ආණ්ඩුව ගිනස් වාර්තා පොතට..

February 7, 2019 at 6:28 am | lanka C news
එජාප අලූත් ජාතික ආණ්ඩුව ගිනස් වාර්තා පොතට..

එක් මන්ත්‍රීවරයකු සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් සෑදීම තුළින් එක්සත් ජාතික පක්ෂය ගිනස් වාර්තා පොතට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ජාතික ආණ්ඩුවක් තනා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වී ඇත්තේ ඇමැති ධුර වැඩි කරගැනීම සඳහා බව පෙන්වා දුන් රණතුංග මහතා ජාතික ආණ්ඩුවකට හෝ ගොස් ඇමැති ධුර වැඩි කර නොගතහොත් එ. ජා. පයේ අභ්‍යන්තර අර්බුදය එළියට ඒම වැලක්විය නොහැකි බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ තරුණ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පැවැති ජනහමුවකට පසුගිය දා සහභාගී වෙමිනි.

මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

දැන් ආණ්ඩුවට තියෙන එකම ප්‍රශ්නය වෙලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එක පැත්තකින් රටේ ආර්ථිකය කඩා වැටිලා. අනෙක් පැත්තෙන් සේනා දළඹුවා වැනි ව්‍යසන නිසා කෘෂිකර්මාන්තය කඩා වැටිලා. ජාතික ආරක්ෂාව දිනෙන් දින වළපල්ලට යනවා. පාතාලය රජවෙලා. මේ කිසිම ප්‍රශ්නයක් විසඳන්නේ නැති ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අටවගෙන පිස්සුවක් නටනවා.

රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනේ කියන කාරණයේ විවාදයක් නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම තමයි අපටත් ජනතාවටත් තිබෙන ගැටලුව. මොකද යූ. ඇන්. පිය කියන්නේ කියන දේ කරන පක්ෂයක් නෙමෙයි. අපට මතකයි විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කරන්න කියලා ගෙනාපු 19 වැනි සංශෝධනය ගැන. අන්තිමට කොළේ වහලා අගමැතිගේ බලතල වැඩි කරගත්තා.

මේ වගේ ආණඩුවක් විශ්වාස කරන්න තරම් අපට පිස්සුවක් නැහැ. ඒ නිසයි අපි මේකට විරුද්ධ. ඔක්තෝබර් 26 වැනි දා ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපා හැරියට පස්සේ රනිල්ට අගමැතිකම ආපහු අරගෙන දෙන්න තීරණාත්මක කැපකිරීමක් කළේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයයි. අගමැතිකම ගන්න රනිල් මේ දෙගොල්ලන්ටම වෙන වෙනම පොරොන්දු පත්‍ර දුන්නා.

දෙමළ ජාතික සන්ධානයට දුන්න පොරොන්දුව තමයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලා සිහින ඊළාම් රාජ්‍යය සැබෑවක් කරගන්න ස‍හයෝගය දෙන එක. ප්‍රභාකරන්ට යුද්ධයෙන් කරගන්න බැරි වෙච්ච දේ ව්‍යවස්ථාව හරහා හරි කරගන්න එක තමයි දෙමළ සන්ධානයේ එකම අරමුණ. ‍එහෙම නැතුව දෙමළ සන්ධානයට  රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව අයිතිවාසිකම් ‍ගැනවත් අබමල් රේණුවක අවශ්‍යතාවක් නැහැ.

එක්සත් ජාතික පක්ෂය නම් රිලවා අද නැටවෙන්නේ දෙමළ ජාතික සන්ධානය කියන අහිකුණ්ටිකයාගේ අතේ. මෙන්න මේ නැටවිල්ලේ ප්‍රතිපලයක් ලෙස තමයි ආණඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවේ. මේක සම්මත වුණොත් ප්‍රභාකරන් වලපල්ලේ ඉඳගෙනත් සන්තෝෂ වෙයි. ඒ තරමට මේ ව්‍යවස්ථාව ෆෙඩරල්. ‍රට බෙදන මේ ව්‍යවස්ථාව අපි පරාජය කළ යුත්තේ ඒ නිසයි.

එදා 2009 මැයි මාසේ 18 වැනි දා නන්දිකඩාල් කලපුවේ දී ත්‍රස්තවාදය පරාජය කරන්නට අපේ වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළේ ඒකීය රටක් වශයෙන් අපේ රට පවතින්න ඕනේ කියන විශ්වාසය මතයි. එදා යුද්ධයට හිනා වෙච්ච කිරිඇල්ලලා, රවී කරුණානායකලා, රනිල් වික්‍රමසිංහලා අද එකතු වෙලා ව්‍යවස්ථාවක් හරහා කොටි හුරතල් කරන්නයි මේ ලැහැස්ති වෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයට ඕනේ ‍ඕනේ විදියට ව්‍යවස්ථා හදන්න දෙන්න බැහැ. අඩුගානේ මේ අයට ව්‍යවස්ථාවක් වෙනස් කරන්න ජනවරමක්වත් ලැබිලා නැහැ. ව්‍යවස්ථාවක් හදන්න ඕනේ නම් එන්න පාර්ලිමේන්තු මැතිවරණයකට. ඇවිත් ජනතාවට කියන්න අපි ව්‍යවස්ථාව වෙනස් කරනවා ඒකට ඡන්දය දෙන්න කියලා. ජනතාව ඒක අනුමත කළොත් අපට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතිව හිතුමනාපෙට වැඩ කරන්න දෙන්න බැහැ.

මේක පාර්ලිමේන්තු මැතිවරණයට තියා පළාත් පාලන මැතිවරණයටත් බය ආණ්ඩුවක්. පුළුවන් තරම් මැතිවරණ කල්දාන්න තමයි මේ අය හදන්නේ. පළාත් සභා මැතිවරණය තිබ්බොත් ඇපත් නැති වෙන බව ආණ්ඩුව දන්නවා. එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය වෙලා තියෙන්නේ මැතිවරණ නොපැවැත්වීම මිසක් මැතිවරණ පැවැත්වීම නෙමෙයි. එදා ජේ. ආර් මැතිවරණ සිතියම ඇකිලුවා වගේ රනිලුත් හදන්නේ මැතිවරණ සිතියම නැත්තට නැති කරලා දාන්නයි.

ඒ අස්සෙන් ජාතික ආණ්ඩු යෝජනාවක් ගෙනත් තියෙනවා කියලා අපි දැක්කා. කිරිඇල්ල ඇමැතිතුමා කියනවා ජාතික ආණ්ඩුවක් නැතුව රට සංවර්ධන කරන්න බැහැලු. හැබැයි මේ නල්ලමලේ ජාතික ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙන්නේ එක මන්ත්‍රීවරයයි. ඒ මන්ත්‍රීවරයා අරගන්නේ එ. ජා. පයේ සියලු දෙනාට ඇමැතිකම් දෙන්න ඕනාවට මිසක් රට සංවර්ධනය කරන්න නෙමෙයි.

උපදේශකයෝම හැටක් තියාගත්තු කිරිඇල්ල උන්නැහෙලාගේ සංවර්ධනය ගැන ජනතාවට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. රට කෙසේ‍ වෙතත් මේ ඇමැතිවරුන්ගේ දුවලා, පුතාලා, බෑනලා, ලේලිලා නම් සංවර්ධනය වෙනවා හරි හරියට. ඒ නිසා මේ වගේ ඊනියා ජාතික ආණ්ඩු යෝජනා ගෙනත් ජනතාව මුලා කරන්න හැදුවට ඒවා හරියන්නේ නැහැ කියලා අපි කියන්න කැමැතියි.

– ප‍්‍රදීප් අනුර කුමාර

30 views

One Comment to “එජාප අලූත් ජාතික ආණ්ඩුව ගිනස් වාර්තා පොතට..”

  1. WMFernando says:

    Jeppo is always talk very big thing and messing up everything. According to 19th amendment the party with the highest number of seats and another party can make a national government without even the simple majority to increase the number of ministers and not for anything else.. The biggest joke in the world. Jeppo is a curse to Sri Lanke as they mislead people.

Main News