‘එදා චිත‍්‍ර ඇන්ද තරුණයා කෝ.. පාස්පෝට් පෝලිමේද..’- පොහොට්ටු සමුළුවේදී මහින්දගෙන් රත්වෙන කතාවක්..

November 2, 2021 at 1:20 pm | lanka C news
‘එදා චිත‍්‍ර ඇන්ද තරුණයා කෝ.. පාස්පෝට් පෝලිමේද..’- පොහොට්ටු සමුළුවේදී මහින්දගෙන් රත්වෙන කතාවක්..

දේශපාලන පක්ෂ ලොකු කුඩා වුණත් දුෂ්කර අවස්ථාවල එක් අරමුණක් වෙනුවෙන් එකට එක පිලේ එක් අරමුණකට සටන් කළ අය මේ කවුරුවත් අපට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරුත් නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි. ඒනිසා එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීම යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“අභිමානයෙන් සෞභාග්‍ය කරා”තේමාවෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අද(02) දින පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

 

තාප්පවල චිත්‍ර ඇඳලා දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කිව්ව තරුණයන් අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නවාද කියලා හොයලා බලලා,එහෙම ඉන්නව නම් ඒ අය ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විධියේ දේශපාලනයක යෙදීම පොදුජන පෙරමුණට ඇති ඓතිහාසික අනාගතවාදී කාර්යය බව ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී පෙන්වා දුන්නේය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි ජාතික මහා සම්මේලනය, පක්ෂයේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තියෙන් අභිෂේක ගැන්විණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනයේ දී පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මිත්‍රවරුනි,

පොදුජන පෙරමුණේ පස්වෙනි සංවත්සරයටයි අද අපි එකතුවෙලා ඉන්නෙ. අළුත්ම පක්ෂයකට වසර පහක් තුළ ජනාධිපතිවරයෙක් බිහි කරලා තුනෙන් දෙකක බහුතරයක් සහිත පාර්ලිමේන්තු බලයකුත් අරගෙන පස්වැනි සංවත්සරය සමරන්න ලැබෙයි කියලා එදා මේ රටේ කිසිම කෙනෙක් විශ්වාස කළේ නෑ. නමුත් අලුත් දේශපාලන පක්ෂයකට ‍ඓතිහාසිකව කරන්න පුළුවන් මහා පෙරළිය අද අපි කරලා තියෙනවා. ඒ සඳහා හිරේ විලංගුවේ වැටෙන්න හෝ මහපාරට වැටෙන්න සුදානමින් වුනත් කැපවුණ සියලු දෙනාට මම මගේ ගෞරවය මේ මොහොතේ පිරිනමනවා.

මිත්‍රවරුනි,

පොදුජන පෙරමුණේ ගෙවුන පස් වසරක කෙටි ඉතිහාසයෙන් ලංකාවේ දේශපාලනයට ලොකු පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. ආණ්ඩු බලය අහිමි වෙලා මර්දනයට ලක් වුණාම නැගිටින්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න නම් පොදුජන පෙරමුණ ගත කරපු ගෙවුණ වසර පහ දිහා බලන්න. ඒ වාගේම විපක්ෂයේ ඉන්නකොට පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අතට අරගෙන ආණ්ඩුවක් එක්ක අරගල කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නන් පොදුජන පෙරමුණේ පක්ෂ ඉතිහාසයෙන් පුළුවන්.

පොදුජන පෙරමුණ ගොඩ නගාගෙන යනකොට තමයි එදා දිගන ජාතිවාදී ගැටුම සිද්ධ වුණේ. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණෙත් අපි පොදුජන පෙරමුණ ගොඩනගමින් විපක්ෂයේ ඉන්න කොට. එබදු අවස්ථාවල ජනතාව කුමන්ත්‍රණකාරීව අවුස්සන්නේ නැතිව කෝප කරන්නේ නැතිව කටයුතු කරන්නේ කෙහොමද කියන එක තේරුම් ගන්නත් අපේ ගෙවුන ඉතිහාසයෙන් පුළුවන්. එපමණක් නොවෙයි පොදුජන පෙරමුණ මේ රටේ වාගේම විදේශවලත් බලපෑමට ලක්වුණා. මට මතකයි දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටවලා පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න කටයුතු කළ මොහොත. එදා පාර්ලිමේන්තුවට ආව විදේශ නියෝජිතයෝ අපිට එරෙහිව පාර්ලිමේන්තු ගැලරියේ ඉඳන් ජයඝෝෂා කරලා අත්පුඩි ගැහුවා. එබඳු බලවේගවලටත් මුහුණ දෙමින් තමයි  පොදුජන පෙරමුණ ගොඩනැගුවේ.

මිත්‍රවරුනි

මොන තරම් මර්දනයට ලක් වුණත් මොන තරම් පීඩනයට ලක් වුණත් අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තියලා වැඩ කළා. අපිව හිරේ විලංගුවේ දැම්මත් ජනතාව කලබල කරවලා වර්ජන රැළි මෙහෙයවලා ජනතාව අඳුරේ තියන්න කටයුතු කළේ නෑ. ඒ නිසාම තමයි වගකිවයුතු පක්ෂයක් හැටියට ජනතාව අපිව භාර ගත්තේ. ඒ වාගේම මොන බාධක කම්කටොලු ආවත් ජනතාව අත හැරලා දිව්වෙ නෑ. බය වෙලා කලබල වෙලා තීරණ ගත්තේ නෑ. ඒ නිසා තමයි මේ තරම් ඉක්මනට අපි මේ ගමන ආවේ. ඒ ඉතිහාසය මතක තියාගෙන තමයි ඉදිරියට යන්න ඕනෑ.

මිත්‍රවරුනි,

ආණ්ඩු බලය ගන්නා තුරු ඉතාම ඉවසීමෙන් කැපවීමෙන් අපි දේශපාලනය කරනවා. ආණ්ඩු බලය ගත්තාට පස්සේ අපි දේශපාලන කටයුතුවලින් ඈත් වෙනවා. හැබැයි ආණ්ඩු බලය ගත්තාට පසු දේශපාලන කටයුතු අමතක කරලා රාජ්‍ය පාලන වැඩවලට කාලෙ වෙන් කරන්න පටන් අරන් තියෙනවා. අද අපිට වෙලා තියෙන්නෙ ඒකයි. පක්ෂයක කීර්තිය ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නොවෙයි.

ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියට කරනවා වාගේම ජනතාව අතර දේශපාලනයක් කරන්නත් ඕනෑ. ආණ්ඩු බලයෙන් අමාත්‍යාංශවලින් රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගිය කාලේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ අපි දේශපාලන කටයුතුවලින් ඈත් වුණ නිසා.

අද ගොවි උද්ඝෝෂණ වුණත් මේ තරම් බරපතළ විදිහට ඇදිලා යන්නේ ඒ අය අතරේ වැඩ නොකළ නිසා. ඒ ජනතාවගේ හඬ අපි තේරුම් ගන්න ඕනෑ. ඒ හඬ අපට ඇහෙන්න ඕනෑ. දේශපාලනයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න අපි පරාද කරපු බලවේග පටු වාසි ගන්න  ජනතාව අතරට රිංගලා විශාල අවුල් ඇති කරනවා. ඒ නිසා පොදුජන එක්සත් පෙරමුණ මේ රටේ තහවුරු කරගන්න නම් පක්ෂයක් විදිහට ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්න ඕනෑ.

රජයේ බලධාරීන්, නිලධාරීන් පමණක් අපි වෙනුවෙන් ජනතාවට සේවය කරයි කියලා බලා ඉන්න එපා. සෞභාග්‍යයේ දැක්මේ තියෙන දේශපාලනය ක්‍රියාත්මක කරන්න වගකීම තියෙන්නේ ඔබගේ අතේ. කම්හලේ,වැඩබිමේ, ගොවිබිමේ අපේ පක්ෂයේ බලය තහවුරු කර ගන්න ඕනෑ.

මිත්‍රවරුනි,

අපි තේරුම් ගන්න ඕනෑ අපිට ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතාම අපහසු දුෂ්කර තත්ත්වයක. මේ වාගේ දුෂ්කර කාලවලට  මුහුණ දීලා මට නම් හොඳට පුරුදුයි. මේ වාගේ කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට. ඒක තමයි සිරිත.

ජනතාව බනින්න පුළුවන් පඹයො පුච්චන්න පුළුවන්. ඒත් අපි ජනතාව අතරට යන්න ඕනෑ. තමුන්නාන්සේලාට මතක ඇති කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය පුපුරපු වෙලාවේ මම එතැනට ගියා. ජනතාව දොස් කිව්වා. ඇඬුවා. මගෙන් ඉල්ලීම් කළා. මට එදා ඔවුන් සනසන්න පුළුවන් වුණා. ඒ අය ඉදිරියේදීම මම ජාතියේ ආරක්ෂාවේ වගකීම බාර ගත්තා.

ඒ වාගේම ඔබට මතක ඇති බේරුවල, අලුත්ගම සිද්ධිය. ඒ වෙලාවෙත් මම එතැනට ගියා. වුණ දේ දෑසින් දැක්කා.

ආණ්ඩුවේ වාගේම විපක්ෂයේ ඉන්නකොටත් මම එහෙමයි කටයුතු කළේ. පාස්කු ප්‍රහාරය වෙලාවේ ආණ්ඩුවේ අය විනාස වුණ පල්ලියට යන්නත් කලින් මම එතැනට ගියා. ජනතාවගෙ ප්‍රශ්නවලට ආවේගවලට මුහුණ දුන්නා. එහෙම දේශපාලනයක් අද අපිට වුවමනායි. පොදුජන පෙරමුණ ඒ වගකීම යුතුකම ඉටු කරන්න ඕනෑ.

මිත්‍රවරුනි

අපි නිතරම සමගියට අත වනන පක්ෂයක්. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපට ලැබුණු උරුමයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම වමේ දේශපාලන පක්ෂ එක්ක එකට හිටියා. වාද විවාද මැද වුණත් එකට වැඩ කළා.

පොදුජන පෙරමුණත් ඒ ගැන හිතන්න ඕනෑ. සමහර පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබෙන්න පුළුවන්. පක්ෂ කුඩා වෙන්න පුළුවන්. ලොකු කුඩා නෙවෙයි දේශපාලනයේදී වැදගත් වෙන්නෙ. අරමුණයි වැදගත්. මේ හැමෝම අපිත් එක්ක එක මග යන අය. අපේ දුෂ්කර අවස්ථාවල එකට එක පිලේ සිටි අය.

එක අරමුණකට සටන් කළ අය. මේ කවුරුත් අපිට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරු නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි.

ඒ අයත් අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය. ඒ නිසා ඒ සියලු පක්ෂ එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීම.

මිත්‍රවරුනි,

අද තියෙන ප්‍රශ්න අපි ගෙනාපු ඒවා නොවෙයි. 2015 දී අපි බාර දීපු රට නොවෙයි 2019 අපි බාර ගත්තේ. අපි 2019 පොදුජන පෙරමුණ බලයට එනකොට ඇස් හිස් මස් ලේ පූජා කරලා රට බේර ගත්ත රණවිරුවෝ දං ගෙඩියට ගෙන යන ජාත්‍යන්තර යෝජනාවට ආණ්ඩුව එකඟ වෙලා තිබුනා.

යහපාලන ආණ්ඩුව කාලේ මුලතිව්වල ගුරු කන්ද පංසලේ නායක හාමුදුරුවෝ අපවත් වුනහම උන් වහන්සේගේ සිරුරවත් උතුරේ තියන්න, ඒ පංසල් බිමේ ආදාහනය කරන්න ඉඩ දුන්නේ නෑ. එදා උතුරේ තිබුණ තත්වය ඒක තමයි. මුළු භික්ෂු ශාසනයටම කතා කළේ චීවරධාරීන් කියලා.

ජාතික ආරක්ෂාව කියලා දෙයක් තිබුණෙම නෑ. ඒ විතරක් නෙමෙයි එම්.සී.සී. අත්සන් කරන්න සියලු කටයුතු සූදානම් කරලා තිබුනේ. එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන එක නතර කළා වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරලා තිබුණු යෝජනාවත් අපි බලයට ඇවිත් ඉවත් කර ගත්තා. ඒත් ඒ සියල්ල අපි දැන් ආපස්සට හරවලා තියෙනවා.

අපි ජාත්‍යන්තරය එක්ක හැප්පිලා මේවා කළේ එන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙලා. මේ නොයෙක් විදිහට වෙස් වලාගෙන නොයෙක් සටන් නාමයෙන් අපේ ඉස්සරහට එන්නේ අපි ඒ කරපු දේවල්වල ප්‍රතිඵල. අපි ඒවායේ තියෙන දේශපාලනේ ජාතියට තේරුම් බේරුම් කරලා දීමේ වගකීම පක්ෂයක් හැටියට බාර ගන්න ඕනෑ.

මිත්‍රවරුනි,

අද රටේ ස්වාධීනත්වය වෙනුවෙන් මේ ගෙවුණ කාලය තුළ කළ කැපවීම ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඇයි ඒ.කතා කරන්න දෙයක් නෑ අපි එහෙමයි කියලා මේ රටේ ජනතාව දන්නවා.

ඒ නිසා මම කියන්න ඕනේ නෝර්වේ සටන් විරාම ගිවිසුම ඉරා දාලා බේරගත්ත රට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව ප්‍රතික්ෂේප කරලා, එයින් ඉවත්වෙලා බේරගත්ත රට, එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකර ඉඳලා බේරගත්ත රට අපි පාවා දෙන්නේ නෑ. රට වෙනුවෙන් ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරපු අපි ගැන මතුවටත් ඒ විශ්වාසය තියන්න පුළුවන් බව මම කියන්න කැමැතියි.

මිත්‍රවරුනි,

පසුගිය ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පැමිණීම අපට විශාල ශක්තියක් වුණා. එතුමාගේ කැපවීම අවංකකම ගැන ජාතියේ විශාල විශ්වාසයක් තිබුණා. මේ පක්ෂය එතුමාට ශක්තියක් වුණා වාගේම එතුමාත් පොදුජන පෙරමුණට ආකර්ශනයක් ගෙනාවා. දේශපාලනය ඈත් කරලා සිටි විශාල තරුණ පිරිසක් එතුමා ගැන විශ්වාසය තියලා ඡන්ද පොළට ගියා.

ඒ නිසාම පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු විශාල පිරිසක් ගැන එතුමා විශ්වාසය තියලා තියෙනවා. ඒ නව තරුණ පිරිස ඒ විශ්වාසය ආරක්ෂා කරන්න ඕනෑ.

 

 

මිත්‍රවරුනි,

රට කරවන ප්‍රධාන දේශපාලන පක්ෂය හැටියට අපේ රටේ වර්තමාන තත්වය ගැන පැහැදිලි තක්සේරුවක් අපිට තියෙන්න ඕනේ. අපි ජනාධිපතිවරණයේදි ලබපු ජයග්‍රහණයත්, පාර්ලිමේන්තුවේ ලබපු ජයග්‍රහණයත් ඉතිහාසයේ කිසිම මැතිවරණ ජයග්‍රහණයක් සමඟ සංසන්දනය කරන්න බෑ. උතුරු නැගෙනහිර අන්තවාදී දේශපාලන පක්ෂවල සහයෝගය නැතුව ජනාධිපතිවරයෙක් බිහි කරන්න බෑ කියන විශ්වාසය හැමදාම තිබුණා. සෑම ජනාධිපතිවරණයකදීම අන්තවාදීන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙන්න සිද්ද වෙලා තිබුණා. නමුත් එබඳු ජාතිවාදී දේශපාලන පක්ෂවල බලපෑමට යටත් නොවී ජනාධිපතිවරෙක් බිහි කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ අපි දෙමළ, මුස්ලිම් ජනතාවගෙන් ඈත් වෙලා දේශපාලනය කරන්න ඕනෑ කියලා. ඒ ජාතීන් ළං කරගන්න පුළුවන් නම් ඒක තමයි පොදුජන පෙරමුණට කරන්න පුළුවන් හොඳම කාර්යය.

ඒ වගේම අන්තවාදී දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂවල පදයට නටන්නේ නැතුව තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබන්න අපිට පුලුවන් උනා. වසර 70 කට වඩා ඉතිහාසයක් තියෙන ආණ්ඩු බලය තිබුණු එක්සත් ජාතික පක්ෂය එක ආසනයට බස්සන්න පොහොට්ටුවට පුලුවන් උණා.‍

මතක තියාගන්න ඒක ඓතිහාසික ජයග්‍රහණයක් ඒ වාගේ ජයග්‍රහණයක් ලබා දීලා ජනතාව ජාතිය අපෙන් ඉල්ලපු දේ අපි තේරුම් ගන්න ඕනැ.

මිත්‍රවරුනි,

මට මතකයි අපි ජයග්‍රහණය කල මුල් දිනවල මේ රටේ තරුණයෝ මුළු රටේම තාප්පවල චිත්‍ර ඇන්දා. නන්නාදුන තරුණයෝ නම් ගම් ලියන්නේ නැතිව චිත්‍ර ඇන්දා. අතේ වියදමෙන් තීන්ත අරගෙන කාණුවල බැහැගෙන, බස් නැවතුම් පොළවල් රජයේ කාර්යාලවල තාප්ප, පාසල් තාප්ප මේ හැමතැනම මහ රෑ චිත්‍ර ඇන්දා. කාගෙවත් ඇරයුමක් තිබු‍ණේ නෑ. කාගෙවත් ඇණවුමක් තිබුණේ නෑ.

ඒ අය රටට ආදරය කරන නන්නාදුනන තරුණයෝ. ඒ අය තමන්ගේ නම් වත් කොහෙවත් සටහන් කළේ නෑ.

මිත්‍රවරුනි,

අද ඒ චිත්‍ර ඇන්ද තරුණ පරපුර කොහේද කියලා අපි දන්නේ නෑ. පක්ෂ දේශපාලනය පටන්ගත්ත දා ඉඳලා පෝස්ටර්වලින් තාප්ප කැත උණා. නගර අවලස්සන උනා. තරුණයෝ තාප්පවල චිත්‍ර ඇඳලා කිව්වේ, මෙතෙක් කරගෙන ආපු දේශපාලනයෙන් රට කැත කරන්න එපා කියලයි. ඒ දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කියලයි. අපි ඒ පණිවුඩය තේරුම් ගන්න ඕනා.

අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න. ඒ පෝලිමට එකතුවෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විදිහේ දේශපාලනයක යෙදෙන්න. ඒක තමයි පොදුජන පෙරමුණේ අපිට තියෙන ඓතිහාසික අනාගතවාදී කාර්යය.ඔබ සැමට සුබ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

157,563 views

77 Comments to “‘එදා චිත‍්‍ර ඇන්ද තරුණයා කෝ.. පාස්පෝට් පෝලිමේද..’- පොහොට්ටු සමුළුවේදී මහින්දගෙන් රත්වෙන කතාවක්..”

  1. ''කිසිම ඡාත්‍යන්තර ගිවිසුමකට අත්සන් කිරීමට ගෝඨාබයට නොහැකිවනසේ ක්‍රීයාමාර්ග ගතයුතුයි,.! says:

    ”’බ්‍රීතාන්‍ය ප්‍රමුඛ බටහිරයන්ගේ වංචනික දේශගුණික විපර්‍යයාස කුමන්ත්‍රණයට ගෝඨාබය රට ඡාතිය ගොදුරැ කිරීමට ගිවිසුම්ගතවීමට උත්සාහ දරණු ලබයි,.!

    ”පළවන ”ඵම් සි සි” ගිවිසුම කූඨලෙස අමෙරිකාව සමග අත්සන්කරනලද ගෝථාබය රට පඹගාළක පැටලිමට බ්‍රිතාන්‍යන්/අමෙරිකානුවන් සමග කුමන්ත්‍රණය කරනු ලබයි,.!

    වංචනික දේශගුණික විපර්‍යාසයන් බටහිරයන් විසින් ක්‍රෘතීමව නිර්මාණය කරන ලද අතර ”ඡෙෙව ප්‍රහාර වෙෙරස” සහ ”රසායන ප්‍රහාර ඵන්නත්කරනය” තුළින් කුරිරැ බ්‍රීතාන්‍ය ප්‍රමුඛ බටහිරයන් ලෝක පාළණය නතුකරගැනීමට කුමන්ත්‍රණය කරනු ලබයි,.!

    ”බටහිර බ්‍රීතාන්‍යයන් ප්‍රමුඛ ”සුදු ඡාතික ත්‍රස්ථවාදීන්ගේ” දේශගුණික අවිය ක්‍රීයාත්මකයි,.!”සුදු ඡාතික ත්‍රස්ථවාදීන්ගේ”දේශගුණික කුමන්ත්‍රණයට ගොඨාබය මුග්ධයා පැටලීමට නියමිතයි,.!
    ”කිසිම ඡාත්‍යන්තර ගිවිසුමකට අත්සන් කිරීමට ගෝඨාබයට නොහැකිවනසේ ක්‍රීයාමාර්ග වහාම ගතයුතුයි,.!

  2. ''රාඡපකෂ පවුල් පාළණයට'' නිකුත්කරනා අවසාන දැනුම්දීමයි,.! says:

    “තෙල් කැණීම් කිරිමට සමගාමීව ත්‍රිකුණාමලය, තෙල් ටැංකි සමුහය වහාම ශ්‍රී ලංකා රඡයට පවරාගත යුතුයි,.!”
    ”සන්නද්ධ හමුදාව යොදා ත්‍රිකුණාමලය සහ තෙල් ටැංකි සමුහය ආරක්ෂා කර ගැනීමට ”ශක්තිමත් සහ සන්නද්ධ” ”හමුදා කඳවුරක්” ” වහාම ත්‍රිකුණාමලය ස්ථාපිත කර ගැනීම සඳහා ”රාඡපකෂ පවුල් පාළණයට” නිකුත්කරනා අවසාන දැනුම්දීමයි,.!

  3. Amda says:

    කතාව නම් අපූරුයි, ඒත් මහත්තයො වැඩ වෙන්නෙ අනික් පැත්තටනෙ. මුරුත්තෙට්ටුවට අරවගේ පෝස්ට් එකක් දුන්නෙ අහවල් එක තිබිලද? ආන්ඩුවට පහර දෙන්න ජෙප්පන්ට ආයුධ සපයන්නෙ ඔබතුමන්ලා විසින්ම නම් අපි මොනව කරන්නද?

    • Spirit says:

      අභිමානයෙන් සෞභාග්‍ය කරා යැම කෙසේ වෙතත් මහින්ද අපේ රටේ සම්පත් හොරෙන් විකුනනවා පුත්තු අනාගතේ රජ කිරීමට අවශ්‍ය මුදල් සෙවීමට ..
      මොකද්ද මේ කියන කතා ..බැසිල් ට මුදල් ඇමතිකම දුන්නේ රටේ අභිමානය සදහාද ? මහජන ජන්දෙන් පත් නොවුන ,ද්විත්ව පුරවැසියෙක් රටේ මුදල් ඇමති කලේ රටේ තරුණ පරම්පරාවට ඇති ආදරේටද ?යහපාලන ආණ්ඩුව කාලේ මුලතිව්වල ගුරු කන්ද පංසලේ නායක හාමුදුරුවෝ අපවත් වුනහම උන් වහන්සේගේ සිරුරවත් උතුරේ තියන්න, ඒ පංසල් බිමේ ආදාහනය කරන්න ඉඩ දුන්නේ නෑ නමුත් විරුද්ධ පක්ෂය ඒ සදහා කරපු මෙහෙය කුමක්ද ? නිහඩව බලා සිටීම පමණයි නේද ? යහපාලනය කරපු සෑම ජඩ වැඩක්ම දැන් පොහොට්ටුව කරනවා නේද ? මොකද්ද පෙර ආණ්ඩුවේ සහ පොහොට්ටුවේ අතර ඇති වෙනස ..ජනතාව කබලෙන් ලිපට වැටීම පමණක් නේද ?

  4. Ashok says:

    Great speech and a great leader. He basically told Gotabaya you need to do politics and not sit in your office and work. Then he turned to Basil and told you are screwing this alliance which was painstakingly built. The day MR is dead and gone there will be no Rajapakses. Maybe Namal will survive because he has some of the traits of MR and he is turning out to be an intelligent politician. He has more time but he is far better than Sajith puthano

  5. lolla says:

    කෝච්චිය ගිහින් ඉවරයි… දැන් ඉතිං රාජපක්ෂලව අරහන්

    • cobra says:

      කතාව දෝලාවෙන් ගමන පයින් නේද ? කෝ ජන්ද කාලේ ජනතාවට දුන්නු පොරොන්දු ?

  6. Mongal says:

    මහින්ද දන්නවා සිංහල බෞධයාව කොහොමද ගොනාට අන්දන්නෙ කියලා. මේ කියන්නේ රජය කරලම මදි මිනිස්සු ගොනාට අන්දන එකත් ශේප් එකේ කරන්න කියලා. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, රණවිරු දඩයම, උතුරේ පන්සල් බේරා ගැනීම වගේ මෝඩ සිංහලයන්ගේ ලේ උණුවෙන් කතා කියලා, තම්බින්ගේ ළමයි ආනදෙටත් දාලා, රටපුරා දුප්පත් මිනිසුන් ක්‍රිස්තියානි ආගමික කල්ලි වලට ගොදුරුවෙන්න ඇරලා. සිංහලට අපි තමයි කරන්නේ කියලා චන්ද කොල්ලා කනවා. හරිනම් මහා බැංකු හොරු, පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු අල්ලුවානම් හරි. බයිලා කියන්න ඕනේ නෑ.

  7. Sasrasi says:

    ඇයි දෙවියනේ උන් රට ගිහින් කීයක් හරි වැඩියෙන් හම්බකර ගත්තදෙන්, දැන් ඩොලර් නෑ කියලා කෑ ගහනවා නේ . ඒවා ත් ලැබෙයි රටට . පුළුවන් නම් කරදරයක් නැතිව ඉක්මනින් පාස්පෝට් ගන්න විදිහක් හදලා දෙන්න එපායැ.

  8. iceberg slim says:

    ”ස ” ස් .. ලා ෆුල් ට්‍රය් කරලා … ජීවත් ව ඉන්නකල් …. බලේ තියං ඉන්න , හරිය ..

    දැන් අපි ඉන්න රටේ තමා ජිවත් වෙලා තින්නේ ” මුසෝලිනි ” … ඒ ළමයා මිය පරලෝ ගිහිල්ලා තින්නේ … හරි අබාග්‍ය විදිහටයි ,,,

    ඒ දවස් වල එයා හිටපු රටේ හොඳට ම කරේ එයා ලු