එදා යුද්ධය තිබුණාද නැද්ද කියා සමහරුන්ට අද අමතක වෙලා..

August 15, 2017 at 8:00 am | lanka C news
එදා යුද්ධය තිබුණාද නැද්ද කියා සමහරුන්ට අද අමතක වෙලා..

එදා යුද්ධයක් තිබුණාද නැද්ද කියා මේ වන විට සමහරුන්ට අමතකවී තිබෙන බවත් එය කනගාටුවට කරුණක් බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.

වසර 30කට වඩා මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය 2009 වසරේ මුළුමනින්ම පරාජය කිරීමට හැකිවූ බවත් ඒ සඳහා දිවි හිමියෙන් කැපවූ රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය හැමදාමත් හිමිවියයුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ජාතික සත්වෝද්‍යානයට අයත් සිංහ පැටවෙකු සිංහ රෙජිමේන්තුවට භාරදීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් සිංහ පැටවා සිංහ රෙජිමේන්තුවේ ප්‍රධානී මේජර් ජනරාල්  බොනිෆස් පෙරේරා මහතාට දෙහිවල ජාතික සත්වෝද්‍යනයේදී පසුගියදා භාරදෙන ලදී.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළේ රට බේරාගත් රණවිරුවන්ට ජාතියේ ගෞරවය හැමදාමත් හිමිවිය යුතු බවයි.

“2009ට පෙර මේ රටේ පොදු මහජනතාව කොටි ත්‍රස්තවාදයෙන් කෙතරම් පීඩාවක් වින්දාද අද සමාජයේ බියක් සැකක් නොමැතිව ජීවත්වෙන්න පුළුවන්. එදා එහෙම ජීවත්වෙන්න පුළුවන් වුණාද. එදා රණවිරුවන් කළ කැපවීම රුපවාහිනී ප්‍රවෘත්ති බලනකොට හොඳට දැක්කා. ඒ කළ කැපකිරීම මේ රටේ ජනතාව කවදාවත් අමතක කරන්න හොඳ නැහැ.

සිංහ රෙජිමේන්තුවේ රණවිරුවනුත් යුද්ධයේදී සුවිශේෂි කැපකිරීමක් කළා. එම රෙජිමේන්තුවේ 3862 ක් යුද්ධය හේතුවෙන් මියගොස් තිබෙනවා. විශාල පිරිසක් ආබාධිත වුණා. තවත් විශාල පිරිසක් තුවාල වුණා. ඔවුන් ඒ කැපකිරීම කළේ සමස්ථ රට වෙනුවෙන්.

සිංහ රෙජිමේන්තුවේ ලාංඡනය සිංහයා. මීට පෙරත් සිංහ රෙජිමේන්තුවේ තාවකාලික භාරකාරත්වය සඳහා සත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුව විසින් සිංහ පැටියෙකු ලබාදී තිබෙනවා. එම සිංහ පැටියා දැන් ලොකුවෙලා වයෝවෘද්ධ වෙලා. එම නිසා සිංහ පැටියෙකු ලබාදෙන ලෙස සිංහ රෙජිමේන්තුව කරපු ඉල්ලීමක් සැළකිල්ලට ගෙන මෙම සිංහ පැටියා ලබාදෙනවා.

ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමතිතුමාට වෙනත් රාජකාරියක් තිබෙන නිසා මේ අවස්ථාවට සහභාගී වෙන්න විදියක් නැහැ. ගරු ඇමතිතුමාගේ සුභාශිංසන මං මේ අවස්ථාවට එක්කරනවා. සත්වයින්ගේ සුභ සාධනය වෙනුවෙන්ද මේ වනවිට ගරු ඇමතිතුමාගේ උපදෙස් පරිදි විශාල වැඩකොටසක් සිදුවෙනවා.

සත්ව සුභසාධනය ඉහළ නංවන ගමන්ම සංචාරක ආකර්ෂණය දිනාගන්න නව වැඩසටහන් කිහිපයක්ම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ, හම්බන්තොට රිදීයගම සෆාරි උද්‍යානයේ සහ පින්නවල අලි අනාථාගාරය හා සත්වෝද්‍යනයේ ළඟදීම ආරම්භ කිරීමට සැළසුම්කර තිබෙනවා.” යනුවෙන්ද තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

චීනයේ සත්ව උද්‍යානයකින් ගෙනා සුලා නැමති සිංහයාට දාව ජර්මනියේ සිට ගෙනා සිංහ ධේනුව හම්බන්තොට සෆාරි උද්‍යානයේදී පැටවුන් සිවු දෙනෙකු ප්‍රසූත කර තිබේ. මාස 4ක් වයසැති ඉන් එක් පැටවෙකු මෙසේ සිංහ රෙජිමේන්තුවට බාරදී ඇත.

මෙම සිංහ පැටියාගේ තාවකාලික භාරකාරත්වය සිංහ රෙජිමේන්තුවට පැවරුවද එම පැටියාට ආහාර ලබාදීම අධීක්ෂණය කරනු ලබන්නේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේනතුව මගිනි. සෞඛ්‍ය තත්වය සොයා බලන්නේද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් විසිනි. සිංහ පැටියාගේ නඩත්තුවට අදාළ වියදම් දරන්නේ සිංහ රෙජිමේන්තුවයි.

– ප්‍රසාද් මංජු

68 views
Main News