එව බලව.. කොරෝනා මඩින බුදු දැක්ම..

March 29, 2020 at 11:20 am | lanka C news
එව බලව.. කොරෝනා මඩින බුදු දැක්ම..

මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය මුහුණු පොතට එක්කර තිබු සටහනක් පාඨක ජනතාවට වැදගත් වේයැයි සැලකු හෙයින් මෙහි පළ කරමු.

මම තෙවන වසර වෛද්‍ය ශිෂ්‍යයකුව සිටියදී (2003) විදුසර පුවත්පතට විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් සැපයීමි. සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධවලින් බැහැරව, ලොව අනාගතයේදී ඇතිවන ප්‍රශ්නවලට බෞද්ධ ප්‍රභවයකින් විසදුම් සොයා ගන්නා ආකාරය එහි ඉදිරිපත් විය (පසුව මෙම විද්‍යා ප්‍රබන්ධ මාලාව ගොඩගේ ප්‍රකාශකයන් “සිංහල බෞද්ධ විද්‍යා ප්‍රබන්ධ” නමින් පොතක් ලෙස පළ කළේය). “චීන-ඒඩ්ස්” නමින් එහි එක් කතාවක් විය. අද දක්නට ලැබෙන ඒඩ්ස් වෛරසය ජාන විකරණයක් මගින් ශ්වසන පද්ධතියට බලපාන වෛරසයක් බවට විකරණය වී චීන ජනතාවට වැළදෙන අයුරත්, එයට අවසානයේ බෞද්ධ පර්යේෂකයකු විසදුම් සොයා ගන්න ආකාරයත් එහි විස්තර විය.

අද දක්නට ලැබෙන “කොරෝනා” රෝගය ඊට සමාන නොවූවද බටහිර වෛද්‍ය විද්‍යාවට විසදුම් දිය නොහැකි වෛරස වසංගත නුදුරේම ලොව ඇතිවිය හැකි බවට යම් අදහසක් එම ප්‍රබන්ධය තුළ ගැබ් විය.

මෙම කොරෝනා වෛරසය මිනිසුන් අතරට පැමිණියේ කෙසේද යන්න ගැන අදහස් ගණනාවකි. විද්‍යාගාරයක් තුළ නිපදවූවක්, අභ්‍යවකාශයෙන් පැමිණි වෛරසයක් ආදී විවිධ අදහස් ඇත. කවරක් නමුත් කොරෝනා අද ලෝක වසංගතයක් බවට පත්ව ඇත. දැනටමත් 30,000 වඩා ඒ හේතුවෙන් මිය ගොස්ය. ඉතාලියට, ස්පාඤ්ඤයට, බ්‍රිතාන්‍යයට, ප්‍රංශයට, ඇමෙරිකාවට එහි බලපෑම වැඩි ඇයිදැයි තවමත් නිසි ලෙස පැහැදිලි කර ගත නොහැක. ශීත දේශගුණය, එම රටවල ප්‍රමුඛ පෙලේ වෛද්‍යවරුන්ගේ වැරදි උපදෙස් (ඉතාලියේ ප්‍රචලිත වූ අදහසනම් කොරෝනා නිසා මිය යන්නේ අවුරුදු 80 වැඩි දියවැඩියා, රුධිර පීඩන හෝ වෙනත් නිදන්ගත රෝගයක් පාලනය නොකළ අය බවයි) අසීමිත පුද්ගල නිදහස, ලිබරල් අදහස්, ක්ෂණික ප්‍රශ්නයකට මුහුණ දීමට ඇති නොහැකියාව ආදී විවිධ පැහැදිලි කිරීම් ඒ උදෙසා ඉදිරිපත්ව ඇත.

පවතින තත්වය ගැන අපටද යම් පැහැදිලි කිරීමක් කළ හැක. ඊට එකග නොවන පිරිස් සිටිය හැකි මුත් විසදුමක් ලබා ගැනීමට එම සංවාදය වැදගත්යැයි සිතමි. කලින් කල මෙවැනි වසංගත මනුෂ්‍යයාට වැළදීම ලෝක ධර්මතාවකි (උතු, බීජ, ධම්ම, චිත්ත, කම්ම යනුවෙන් නියාම 5 කි). මනුෂ්‍ය ලෝකයේ අකුසල් ශක්තිය වැඩි වූ විට අමනුෂ්‍ය කොටස් බලවත් වේ. එම අකුසල් ශක්තිය සමතුලිත වනතෙක් මහා පරිමාණයෙන් මනුෂ්‍ය ජීවිත අහිමි වේ. එසේ කියා මිනිසුන් මිය යනතෙක් බලා සිටීමේ සිරිතක් අපට නැත; වසංගතය වලක්වා ගැනීමට ගත හැකි සෑම උපක්‍රමයක්ම අනුගමනය කරයි. වසංගත රෝග “දෙයියන්ගේ රෝග”කරන්නේ නමින් හදුන්වා දෙවියන්ට භාර කරන්නේ අමනුෂ්‍ය ශක්තිය අවම කර එය දමනය කළ හැකි වෙනත් පිරිසකගේ උදව් උපකාර ලබා ගැනීමටයි; ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂ නොතිබූ කාලයේත් වසංගත පැතිරෙන්නේ ඇසට නොපෙනෙන යමක් නිසා බව දැන සිටීම හේතුවෙන් තහංචි කඩුලු, වහන්වීම්, තනිකිරීම් සිදු කළහ; සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට ඉඟුරු-කොත්තමල්ලි-වෙනිවැල්ගැට සහ තවත් ඖෂධ වට්ටෝරු යොදා ගත්හ. වසංගත රෝග මර්දනයට යොදාගත් එක් ප්‍රබල අවියක් වුයේ ත්‍රෛ-ලෝක පත්‍ර/ගංජා/ කැනබීස් පැළෑටියේ විවිධ කොටස් තම්බා පානය කිරීමයි. අද එම දැනුම මුළුමුනින්ම පාහේ වියැකී ගොස්ය. සතුන්ට බලපාන කොරෝනා වෛරස මර්දනයට ගංජා කැනබීස් ශාකයේ නිස්සාරණ සාර්ථක ලෙස යොදා ගත හැකි බව පර්යේෂකයෝ මෑතකදී පෙන්වා දුන්හ.

අමනුෂ්‍ය ශක්තිය ඉස්මතු වීම යනු අකුසල් ශක්තියේ වැඩි වීමකි. ඊට නිශ්චිත විසදුම කුසල් ශක්තිය වැඩි කිරීමයි. වසංගත තත්වයකදී ද්වේශය මුල් කරගත් අකුසලය කැපී පෙනෙන ලෙස ඉස්මතු වේ. රතන සුත්‍රය සඤ්ඤායනය මගින් සිදු වන්නේ බුද්ධ, ධම්ම, සංඝ තෙරුවනේ ගුණ පවසා, අමනුෂ්‍යයන්ට ඒ ගුණ අසන්නට සලස්වා, සෙත් පතා ද්වේශය සමනය කිරීමයි. අටවිසි පිරිත, දස දිසා පිරිත ආදී වූ තවත් පිරිත් දේශනා කිහිපයකින්ද සිදුවන්නේ මේ කටයුත්තම ය. ආචාර්ය නලින් ද සිල්වා මහතා මගින් හඳුනා ගත් සිරිපා අඩවියේ භාවනානුයෝගී ස්වාමීන්වහන්සේ නමක් පැවසුවේ ශබ්ධ විකාශන යන්ත්‍ර මගින් පිරිත් ඇසෙන්නට සැලැස්වීමෙන් ලබා ගත හැක්කේ අල්ප ප්‍රතිඵලයක් බවයි. සිල්වත් මහා සංඝයා පහදවාගත් සිතෙන් සුත්‍ර සඤ්ඤායනය මගින් උසස් ප්‍රතිඵල ලැබේ. තව ද පුද්ගලයන් වෙන් වෙන් වශයෙන් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම අමනුෂ්‍යයන්ගේ ද්වේශ ශක්තිය අඩු කිරීමට හේතු වේ. යක්ෂ, භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදී අමනුෂ්‍ය කොටස්වලට වෙන් වෙන් වශයෙන් මෛත්‍රී කිරීම සුදුසුය.

ධර්මය ගැන කතා කල ද එය අර්ථවත් ලෙස ප්‍රශ්න විසදා ගැනීමට යොදා ගැනීම් අද විරලය. ඊට මූලික හේතුවක්නම් ධර්මය විලාසිතාවක් ලෙස යොදා ගැනීමත්, වෙළද අරමුණු වෙනුවෙන් යොදා ගැනීමත් හැර එහි හැසිරෙන පිරිස අල්ප වීමයි. අප අඩුම තරමේ එළැඹෙන සති කිහිපයේ හැකි තාක් ධාර්මිකව ජීවත් වුවහොත්, මෛත්‍රීය වැඩුවහොත්, සුත්‍ර දේශනා නිවසේ සිටම සිත් පහදවා සඤ්ඤායනය කළහොත් ඒකාන්තයෙන්ම එහි ප්‍රතිඵල ලැබෙනු ඇත. කුමන නමකින් හැඳින්වුවද තහංචි කඩුළු යොදා නිවසට වී සිටීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් ඒ සිදු කරන්නේ කොරෝනා කෙරෙහි හෝ රජය කෙරෙහි හෝ, සෞඛ්‍ය සේවකයන් ගැන හෝ පොලිසිය ගැන හෝ වෛරයකින්, ද්වේශයකින් නම් එතැනින් සිදුවන්නේද ද්වේශ ශක්තිය වැඩි වීමකි; අමනුෂ්‍ය ශක්තිය වැඩි කිරීමට උල්පන්දම් දීමකි. මේ අවස්ථාවේ අප සිදු කල යුත්තේ ද්වේශ ශක්තිය සමනය වන කායික-මානසික ක්‍රියා තෝරා ගැනීමයි.

බටහිර චින්තනය අවසන් වසර 500 පමණ කාලයේ ඇති තරම් අකුසල් ශක්තිය වර්ධනය කර ඇත. ඔවුන්ට එහි බලපෑමෙන් මිදීමට පහසු නොවනු ඇත. ලෝක ධර්මතා ඉක්මවා යෑමට බටහිර විද්‍යාව, තාක්ෂණය හෝ වෙදකම අසමර්ථ බව අද අප දෑස් ඉදිරිපිටම සනාථ වෙමින් තිබේ. නුතනත්වය නමින් අකුසල් රැස් කිරීම ලොව පුරා ප්‍රචලිත කළ සහ ඒ වෙනුවෙන් නිර්මාණය කල නිව්යෝර්ක්, ලන්ඩන්, මැඩ්රිඩ්, මිලාන් නගර මේ ප්‍රශ්නයෙන් ගොඩ එනු ඇත්තේ මිලියන කිහිපයක මිනිසුන් ප්‍රමාණයක් මිය යෑමෙනි; දැනටමත් මිනිසුන් මැසි මදුරුවන් සේ මිය යෑම ඇරඹී ඇත; ඉදිරි සති කිහිපයේදී මළ මිනී ඉවත් කිරීමට පවා නිසි යාන්ත්‍රණයක් නැතිව මේ මහා නගර අර්බුදයට යනු ඇත; සෞඛ්‍ය සේවකයන් තත්වය දරා ගත නොහැකිව දැනටමත් සේවයෙන් ඉවත් වෙමින් ඇත.

තවත් මාස කිහිපයකින් එන්නතක් සොයා ගැනීම, දැනට වෙනත් රෝගයක් සඳහා ලබා දෙන ඖෂධයක් රෝගය පාලනයට යොදා ගැනීම හෝ ස්වභාවික ලෙස ප්‍රතිශක්තිය වර්ධනය වන තෙක් බලා සිටීම හැර නිශ්චිත විසදුමක් පේන තාක්මානයක නැත. අද බටහිර ලෝකය මේ මට්ටමින් හෝ කොරෝනාවට ඔරොත්තු දී ගෙන සිටින්නේ විදුලි බලයට සහ අන්තර්ජාලයට පින්සිදු වන්නටය. ඒ දෙක බිඳ වැටුනහොත් මේ වසංගතය හමුවේ නූතන ලෝකය කවර තත්වයකට ඇද වැටෙනු ඇතිද? අප වහ වහා සියවස් 25ක් රැකුණු, අප රැක දුන් සම්‍යක්දෘෂ්ටික මඟට පිවිසිය යුත්තෙමු.

– චන්න ජයසුමන FB

5,721 views

61 Comments to “එව බලව.. කොරෝනා මඩින බුදු දැක්ම..”

  1. Amal says:

    ඔබ තුමාට ගොඩක් ස්තුතිය! රට වෙනුවෙන් සේවය කිරීමට තව තවත් ධෛර්යය ලැබේවා!

  2. Priyantha says:

    ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීම සඳහා ත‍්‍රිලෝකා විජයා සහ හොඳ තේ කොල සමඟ පවට්ටා කොල සහ මුල් වේලා තේ වෙනුට භාවිතා කරන්න.

  3. Hhhhm says:

    Dear sir,

    Totaly agreed.

  4. රුවන් says:

    මේ වෙලාවේ ඔබට පහසුවේන්ම පන්සිල් රැකිය හැක එය සිහිකර උදේ සවස තෙරුවන් වැඳ තුන්සුත්‍රය කියවා මයිත්‍රී බාවනාව වඩා ඔබ ගේ ශිලය සිහි කර සත්‍යක්‍රියා කරන්න එය ඔබටත් පව්ලේඅයටත් විශාල ආශිර්වාදයකි රටටද ආශිර්වාදයකි .අකුරටම පන්සිල්සුරකින්න තෙරුවන්

    • Dikman Aiyya says:

      ….very true,…but the problem is the 3rd sil padaya,…I am a good fellow..but the next door Aunty…she wont let me be,..

      • A.K. Dissanayake says:

        ගනං ගන්න එපා අපේ පුංච් අම්මත් ඉස්සර ඔහොමයි.

  5. රුවන් says:

    සියළු සත්වයෝ නිදුක් වත්වා

  6. ASK says:

    Ayubowan “Lanka C news”!

    Thanks for publishing this constructive article.

  7. Love nature says:

    විද්‍යාව හා බුදු දහම අතර ඇති සම්බන්ධය

    බුදු දහම වූ කලී සමාජය නැමති පුළුල් විද්‍යාගාරයක් තුළ දත්ත රැුස්කර විද්‍යාත්මක සංකල්ප රාශියක් ලොවට හෙළි කරන ලද උතුම් දහමක් බව සඳහන් කළ යුතුය. මෙය බිත්ති හතරක්තුළ සිදු කළ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් නොවේ. මේ විද්‍යාගාරය තුළ පුළුල් පරාසයක් තුළ විනිවිද යමින් සාගරය බඳු නිගමන රාශියක් මේ මගින් ලොවට හෙළි කළේය.
    බුදු දහම හා විද්‍යාව අතර සම්බන්ධය පෙන්වා දීමේදී වෙනත් මගකින් නිබන්ධනය අර්ථවත් කිරීමට හා කරුණු පෙන්වා දීම නූතන සමජයට මහත් අස්වැසිල්ලක් විය හැකියි. එම නිසා දකින සත්‍ය අවබෝධ වන සත්‍ය සමාජයට විවර කරදීම අප කාගේත් යුතුකමක් යැයි සිතිය යුතුය.
    ඒ අතර විද්‍යාවන් බෙහෝමයකින් සමන්විත වී ඇත. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වශයෙන් විද්‍යාවන් වර්ග වී ඇත. නමුත් බුදු දහම ඉහතින් පෙන්වා දුන් විද්‍යාවන් අභිබවමින් විනිවිද යමින් විද්‍යාත්මක සංකල්ප ඇතුළත් වෙනත් විද්‍යාවත් ලොවට හෙළි කළේය. ඉහත විද්‍යාවන්වල අවසානයේ සත්වයාට උරුම වී ඇත්තේ විනාශයක් මිස සුගතියක් නොවන බව දැනටමත් කාහටත් ප‍්‍රත්‍යක්ෂ වී ඇතැයි සිතිය යුතුයි.
    තවද බුදු දහම විද්‍යාව අතර සම්බන්ධයක් ඇතැයි මතයක් ගොඩ නගන්නේ නම් එය එතරම් යුක්ති සහගත නොවිය හැකිය. ඉහතින් පෙන්වා දුන් විද්‍යාවන් තුළ ඇති සංකල්ප අභිබවමින් බුදු දහම තුළ විද්‍යාත්මක බව ඉස්මතුවී දැකිය හැකිය. නූතන විද්‍යාව තුළ සංවර්ධනීය මට්ටම සියයට 50 ක් නම් බුදු දහම තුළ පවතින විද්‍යාත්මක බව සියයට සියය ඉක්මවා ඇත. වර්තමාන බොහෝ දෙනෙක් නූතන විද්‍යාවන් මගින් බුදු දහම ඉස්මතු කර පෙන්වීමට යන බවක් පෙනෙන්නට තිබේ. නමුත් එය කිසිසේත් කළ නොහැක්කක් බව ඉහත සඳහනට අනුව සිතිය යුතු වේ.
    බුදු දහම විද්‍යාත්මක බවකින් යුක්ත වවුත් විවිධ විද්‍යාඥයින් විසින් විෂය පද්ධතිවලට එක් කර ඇති විද්‍යාවන් ඉක්මවා ගොස් ඇත. අදටත් ගැටළු සහගතවී ඇත.
    නූතනයේ ඉස්මතු වී දැකිය හැකි මොනම විද්‍යාවක්වත් මැරෙන කොට ප‍්‍රයෝජනයක් නොවන බවත් ශ‍්‍රද්ධාවන්තයන්ට සිහිකොට දිය යුතුව ඇත. ජීවිත අවබෝධය ලබන විද්‍යාත්මක බවක් බුදු දහම තුළ දැකිය හැක. සසරේ ඇවිදින සත්වයාට නවතින මග හෙළි කළ දහම බුදු දහම වේ. බුදු දහමෙන් පෙන්වන්නේ ලෝකයේ තිබෙන සත්‍ය ස්වභාවයයි. එය විද්‍යාගාරයක් තුළ කිසිසේත් කළ නොහැකිය. බුදු හිමි ගිහිගෙය හැර දමා සමාජයට හැකිනම් වනගත වූයේ සදාතනික විද්‍යාව ලොවට හෙළි කරන්නටය.
    අවිද්‍යාව තුළ අගාධයෙන් අගාධයට වැටෙන සත්වයා සසර කතරින් එතෙර කිරීමට නවතම විද්‍යාවක් බුදු හිමි ලොවට හෙළි කළේය. එම විද්‍යාව නම් ආධ්‍යාත්මික විද්‍යාව වශයෙන් එය නම් කළ හැකිය. එහි විද්‍යාගාරය නම් සමාජය නම් විද්‍යාගාරයයි.
    සියලූ විද්‍යාවන් සියයට සියයක් වර්ධනීය මට්ටමක් තුළ බුදු දහම චුඩා මාණික්‍යයක් මෙන් බබළන එක කිසිවකුට ද නතර කළ නොහැකිය. ඒ කාලය වැඩි දුර නොමැති බව ද ප‍්‍රඥාවන්තයින් සිහියේ තබා ගත යුතු ව ඇත. ප‍්‍රඥාවන්තයින්ට පමණක් මාගේ ධර්මය තුළින් සහනයක් ලබා ගත හැකි බව බුදු හිමි පෙන්වා දී ඇත. මතු පිටින් පෙනෙන ලෝකය විනිවිද යමින් ආධ්‍යාත්මික චින්තනයක් තුළින් සසර කතරින් දුකට පත් සත්වයා ගලවා ගැනීම සඳහා අරි අටගි මග පෙන්වා දී ඇත.
    ශීල, සමාධී, ප‍්‍රඥා තුළින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට බුදු හිමියන් පෙන්වා දුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් ගමන් කර සසර කලරින් එතර වීමට දෙසූ ඒ ආධ්‍යාත්මික විද්‍යා සංකල්ප ඇතුළත් බුදු දහම අප කාහටත් එකසේ මග පෙන්වා ඇත. සියලූ සත්වයන්ට නිර්මල බෞද්ධ දර්ශනය අවබෝධ කර සසර කතරින් එතර වීමට හක්තිය උදාවේවා යන්න එකම පැතුම අප කා තුළත් ඇති විය යුතුය.
    තෙරුවන් සරණයි!!!

    • Samitha says:

      Love nature,
      ඔබගේ පැහැදිලි කිරීමත් ඉතාම අගනේය. විශාල සත්‍ය යක් එහි ගැබ්ව ඇත. මහාචාර්ය තුමාට මෙන්ම ඔබට ද තුති. තෙරුවන් සරණයි!

  8. Love nature says:

    බුදු දහම අභියස තවම ළදරුවෙකු විද්‍යාව

  9. ASK says:

    Ayubowan “Lanka C news”!

    Maintain this article visible in your front page, all the while at least for this critical week or two!

    The pouring comments are really helping, and we can see a serial effect of this.

    Please don’t allow 3% comments to tarnish this spirit.

  10. Maxxa. says:

    Dr. Jayasumana’ s Article is Exactly correct.Time to to when imbalance occurs between different realms, minds of people, this type of disastrous karmic situation tends to occour. If people can meditate mythree bawana as much as possible individually ,this may control up to some extent.

Main News